අක්ෂි කාච මහා වංචාව එළියට – තොරතුරු මෙන්න

  • By editor
  • August 27, 2023
  • 0
  • 202 Views

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය සතු අක්ෂී කාච තොග අවසන් වීමෙන් රෝහල්වල අක්ෂී ශල්‍ය සිදුකර ගෙනයාමට නොහැකි තත්වයක් උද්ගත වී තිබේ.

දැනට අක්ෂි රෝහල්වල ඉතිරිව ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් අක්ෂි කාච සහ පරිත්‍යාග වශයෙන් ලැබුණු අක්ෂි කාච පමණක් බව එම අංශය ප්‍රකාශ කරයි.

දිවයින පුරා පිහිටි රෝහල්වලට මසකට අක්ෂි කාච පහළොස්දහසක් පමණ සැත්කම් සදහා අවශ්‍ය වේ.

අක්ෂි කාච වර්ග 9ක් වෛද්‍ය සැපයුම් අංශය විසින් රෝහල්වලට බෙදා හරින අතර කිසිදු අක්ෂි කාචයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව නොමැති වීම නිසා ඉදිරියේදී දැඩි හිගයක් මතු විය හැකි බවද එම අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මෙම හිගයට හේතු වී ඇත්තේ නිසි පරිදි ටෙන්ඩර් කිරීමක් සිදු නොකළ අක්ෂි කාච ටෙන්ඩරයක් තාවකාලිකව නතර කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් කළ නියෝගයකට අනුව විමර්ශන ආරම්භ කිරීමයි.

මෙම විමර්ශනය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

කෙසේ වෙතත් විවිධ ටෙන්ඩර මගඩි හේතුවෙන් සහ විවිධ ටෙන්ඩර මගඩි සිදු කිරීම සඳහා, ටෙන්ඩර අවලංගු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විලාසිතාවක් වී ඇති අතර, ඒ හේතුවෙන් නිතර නිතර සාමාන්‍ය මිලදී ගැනීම් ඉවත දමමින් හදිසි මිලදී ගැනීම් සඳහා පාර කපා ගැනීමද තාක්ෂණික මාෆියාවක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.

.ඒ අනූව, අක්ෂි කාච හදිසි මිලදී ගැනීමේ තීරණයද ඉදිරි දින කිහිපය ඇතුලත සුජාතකරණය වීම අනිවාර්ය වන අතර, ඒ හේතුවෙන් වැඩි මිලට අක්ෂි කාච මිල දී ගැනීමට සිදු වීම හේතුවෙන් විශාල මුදලක් රජයට අහිමි වී යන බවද ඔහු සදහන් කලේය.

අක්ෂි කාච හදිසියේ මිලදී ගැනීමට සිදු වුවහොත්, මසකට රජයට සිදුවන පාඩුව මිලියන 200ට වැඩි බවද ඔහු කීවේය.

මෙම අක්ෂි කාච සාමාන්‍ය මිලදී ගැනීමේදී රුපියල් 8000/- සිට 9500/- දක්වා අඩු මුදලකට ලබා ගත හැකි අතර, කළමණාකරණ දෝශ හේතුවෙන් එය ‘හදිසි මිලදී ගැනීමක්’ ලෙස සිදු කරණු ලැබුවහොත් අක්ෂි කාච රුපියල් 20,000/- සිට රුපියල් 30,000/- අධික මිලකට ලබා ගැනීමට සිදුවේ.

ඒ අනූව අක්ෂි කාචයකින් රජයට අහිමි විය හැකි මුදල රු. 12000/- සිට රු. 20000/- දක්වා ප්‍රමාණයකි. රජයේ රෝහල් සේවාව සඳහා මසකට අක්ෂි කාච 15000ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, ඊට අදාලව මසකට රජය අහිමි කර ගන්නා මුදල රුපියල් මිලියන 200ත් 300ත් අතර වන බවද රවී කුමුදේශ් සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *