අධිකරණ විනිසුරුට එරෙහිව පැමිණිල්ලක් – සම්පූර්ණ විස්තරේ මෙන්න

  • By editor
  • October 11, 2023
  • 0
  • 249 Views

හටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා උප පොලිස් පරීක්ෂකවරයකු සමඟ මෝටර් රථයකින් පැමිණ තමා ගමන් කරමින් සිටි ජීප් රථයට යෑමට නොහැකි වන පරිදි මඟ හරස් කොට නවතා රථ වාහන වරදක් සිදු කළ බවට චෝදනා කරමින් රියැදුරු බලපත්‍රය සිය භාරයට ගෙන මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට රැගෙන ගොස් නීති විරෝධීව බලපෑමක් සිදු කළ බව පවසමින් පෞද්ගලික මූල්‍ය ආයතනයක කළමනාකරුවකු විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතාට ලිඛිතව පැමිණිල්ලක් කර තිබේ.

කහටගස්දිගිලිය ලයිට් පාර, රත්න ලිපිනයේ චන්න සුරාජ් සෙනවිරත්න මහතා විසින් නීතිඥ ජයලත් අබේසිංහ මහතා සහතික කරන ලද දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මෙම පැමිණිල්ල කර ඇත.

අදාළ පැමිණිල්ලේ මෙසේ ද සඳහන්ය.

මාගේ සමීපතම හිතවතකු වන වෛද්‍ය අශෝක පාරිස් මහතා පෞද්ගලික කාරණාවකට මට අයත් එන්සී/සීබීඑච්/ 9989 අංක දරන ප්‍රිමියෝ මෝටර් රථය ඉල්ලා ගත්තා. එම නිසා 2023 ඔක්තෝබර් මස 05 වැනි දින මා මාගේ හිතවතකු වන වෛද්‍ය අශෝක පාරිස් මහතාට අයත් ඩබ්පී සීඒයූ 1340 අංක දරන මෝටර් රථයෙන් අනුරාධපුරයේ පිහිටි මාගේ සේවා ස්ථානයේ සේවයට වාර්තා කිරීමට යෑම සඳහා පිටත් වුණා. කහටගස්දිලිය නගරයේ සිට අනුරාධපුරය දක්වා වන මාර්ගයේ රත්පත්විල ප්‍රදේශය පසු කර අනුරාධපුර දෙසට කිලෝමීටර දෙකක් පමණ ධාවනය කරමින් සිටින විටදී එදින උදෑසන 7.50ට පමණ මට පසුපසින් වේගයෙන් කළු පැහැති මෝටර් රථයක් නොකඩවා නළාව නාද කරමින් හා ප්‍රධාන විදුලි පහන් නොකඩවා දල්වමින් මා පසුපස හඹා එන බව මා පැදවූ ජීප් රථයේ පැති කණ්ණාඩි මඟින් නිරීක්ෂණය කළා.

ඒ අනුව වහාම මා පැදවූ ජීප් රථයේ වේගය අඩු කිරීමට මා කටයුතු කළා. ඒ සමඟම පිටුපසින් වේගයෙන් පැමිණි කළු පැහැති මෝටර් රථය මාගේ ජීප් රථය ඉදිරියෙන් මඟ අවහිර වන සේ මාර්ගය හරස් කරමින් නතර කළා. එම සිදුවීම බටහිර චිත්‍රපටයක දර්ශනයකට සමානයි. එම කළු පැහැති එන්ඩබ්/කේපී/ 3076 අංක දරන මෝටර් රථයෙන් බැස පොලිස් නිලධාරියකු (කහටගස්දිගිලිය පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක නිහාල්) පැමිණියා. ඒත් සමඟම තවත් පුද්ගලයකු රියැදුරු අසුන දෙසින් බැස පැමිණියා. ඔහු මෝටර් රථය පදවා ගෙන පැමිණි පුද්ගලයා බව හඳුනා ගත්තා. එලෙස පැමිණි පුද්ගලයා ඔබ කවුද? යනුවෙන් මාගෙන් විමසුවා. එම අවස්ථාවේ මා අනුරාධපුර මූල්‍ය ආයතනයක ශාඛා කළමනාකරු බව මා ප්‍රකාශ කළා.

ඒත් සමඟ එම පුද්ගලයා තමා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා බවත් මා පැදවූ ජීප් රථය අනුරාධපුර දෙසට ධාවනය කරන අතරතුර මගේ ජීප් රථයේ රෝදයකට හසු වූ ගල් කැටයක් විසිවී මහේස්ත්‍රාත්වරයා පැදවූ මා පසුපස හඹා ආ මෝටර් රථයේ ඉදිරි වීදුරුවේ (වින්ඩ්ස්ක්‍රීන්) වැදී හානි සිදුවී ඇති බවත් ප්‍රකාශ කළා. මාගේ ජීප් රථයේ රෝදයකින් ගලක් විසිවීමේ සිද්ධියක් සිදු නොවූණ බව මා ඊට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කළා. එවිට මහේස්ත්‍රාත්තුමා “ඔව් ඔයා දැන ගත්තේ නැති බව මට තේරුණා. නමුත් රෝදයෙන් ගලක් විසි වෙලා ඇවිත් මාගේ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක ඩැමේජ් වුණා යනුවෙන් ප්‍රකාශ කළා.

පසුව මහේස්ත්‍රාත්තුමා මාගේ රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියා. මා එය එතුමාට ලබා දුන්නා. ඉන් පසු එකී රියැදුරු බලපත්‍රය මහේස්ත්‍රාත්වරයාගේ සන්තකයට ගෙන මා යන ගමන නතර කර මගේ ජීප් රථය නැවත හරවා මහේස්ත්‍රාත්වරයා පසු පසින් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය තෙක් ධාවනය කරන ලෙසට මා හට අණ කළා.

ඒ අවස්ථාවේදී මා ඉතා පීඩනයට හා අසරණ තත්ත්වයට පත් වුණා. මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන් පරිදි මා පැදවූ ජීප් රථය නැවත හරවා මහේස්ත්‍රාත්තුමන් පැදවූ මෝටර් රථය පසු පසින් ධාවනය කළා. එලෙස ධාවනය කිරීමේදී මාගේ රියැදුරු බලපත්‍රය මා සන්තකයේ තිබුණේ නැහැ. ඊට හේතුව රියැදුරු බලපත්‍රය කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්තුමා සිය භාරයට ගෙන තිබුණ නිසා. මහේස්ත්‍රාත්තුමා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගමන් ගන්නා අතරතුරදී කහටගස්දිගිලිය නගරය මැද මෝටර් රථය නවත්වා රථ වාහන රාජකාරියේ නියුක්තව සිටි කහටගස්දිගිලිය පොලිසියේ නිලධාරීන් දෙදෙනකු කැඳවා ඔවුන්ටද කහටගස්දිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත එන ලෙස දැනුම් දුන්නා. පසුව මහේස්ත්‍රාත්තුමා එතුමන්ගේ මෝටර් රථය කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට ඇතුළත් කර නතර කළා. ඒ අසලින් මාගේ ජීප් රථයද නවතන ලෙසට අණ කළා. ඉන් අනතුරව මහේස්ත්‍රාත් නිල මැදිරියට මට පැමිණෙන ලෙස අණ කළා. මා නිල මැදිරියට ගියා. ඒ අවස්ථාවේ කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ද රථ වාහන නිලධාරින් දෙදෙනකු ද මහේස්ත්‍රාත් නිල මැදිරියට කැඳවා තිබුණා. එහිදී මහේස්ත්‍රාත්තුමා මට දැනුම් දුන්නා එතුමාගේ මෝටර් රථයට තෙවන පාර්ශ්වයේ රක්ෂණයක් පමණක් ලබා ගෙන ඇති බවත් එම නිසා මහේස්ත්‍රාත්තුමාගේ මෝටර් රථයේ ඉදිරි වාමුවාවට සිදුව ඇති හානිය වහාම පියවන ලෙසත් ඒ සඳහා ජපන් රීකන්ඩිෂන් වාමුවක් (වින්ඩ්ස්ක්‍රීන්) සැපයීම කරන ලෙසටත් නැතහොත් රුපියල් එක් ලක්ෂ දස දහසක මුදලක් මහේස්ත්‍රාත්වරයා වෙත ගෙවන ලෙසත් එලෙස නොගෙවන්නේ නම් නීති මඟින් මා හට එරෙහිව කටයුතු කරන බවටත් මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරියා ඔහුට සාක්ෂි වශයෙන් සිටින බවත් දැනුම් දුන්නා. එදින සවස 5ට පෙර එකී වාමුවාව ගෙන එකී බිල් පත කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයා මඟින් තමාට ලැබීමට සලස්වන ලෙසත් දැනුම් දුන්නා.

මා පැදවූ ජීප් රථයේ අයිතිකරු වන වෛද්‍ය අශෝක පාරිස් මහතාද සිය නිල මැදිරියට කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට අණ කළා. ඒ අනුව වෛද්‍ය අශෝක පාරිස් මහතා ද සිය දෛනික උදෑසන රෝගී සායනය අතර මැද නවතා මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට උදෑසන 8.45ට පැමිණියා. ඒ අවස්ථාවේදී සිය මෝටර් රථයේ ගල් කැටයක් වැදුණු බව මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට ද ප්‍රකාශ කළා. තමා එවැනි සිදු වීමක් නොදන්නා බව වෛද්‍යවරයා මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියා.

මගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන මාගේ රියැදුරු බලපත්‍රය පොලිසිය භාරයට ගෙන මා හට තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කරන ලෙසට එහිදී මහේස්ත්‍රාත්වරයා කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට අණ කරමින් කියා සිටියා. ඒ අනුව පොලිසිය මාගේ රියැදුරු බලපත්‍රය සිය භාරයට ගෙන මා හට 975591 අංක දරන තාවකාලික රියැදුරු බලපත්‍රය නිකුත් කළා. එහි වරද ලෙස එහි රිය අනතුරක් සිදු කිරීම යනුවෙන් සඳහන් කර තිබෙනවා. එමෙන්ම මට විරුද්ධව නඩුවක් පවරන බවත් මේ මස 24 දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් දන්වා තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයාගේ මෝටර් රථ‍ෙය් වාමුවාව සවි කර දුන් පසුව රියැදුරු බලපත්‍රය මා හට මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා පොලිස් ස්ථානාධිපතිවරයාට අණ කළා. අලුතින් වාමුවාව සවි කිරීමට දින තුනක කාලයක් ගත වන බවත් එම දින තුන සඳහා මහේස්ත්‍රාත්වරයාට ගමන් කිරීමට වෙනත් මෝටර් රථයක් සූදානම් කර දෙන ලෙසත් මට දැනුම් දුන්නා. ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා කහටගස්දිගිලිය පොලිසියේ නිලධාරීන් උපයෝගි කර ගනිමින් වින්ඩ්ස්ක්‍රීන් එක දැමීමට සූදානම් ද? නැති නම් රුපියල් 110,000ක් ගෙවීමට සූදානම් ද ? යනුවෙන් විමසමින් එදින සවස 5 වනතුරුම බලපෑම් කළා යැයි ද පැමිණිල්ලේ දැක්වේ. මෙම සිදු වීමෙන් තමා දැඩි මානසික පීඩනයටත් අපහසුතාවටත් පත්වූ බව ස්වකීය පැමිණිල්ල මඟින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට දැනුම්දී ඇති චන්න සුරාජ් සෙනවිරත්න මහතා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත්වරයා සිය නිල බලය අවභාවිත කරමින් සිදු කළ මෙම අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ද ඉල්ලා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න මහතා සම්බන්ධ කර ගැනීමට ලේකම්වරයාගේ කාර්යාලයේ 011-2433119 දුරකතනයට ඇමතූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දැක්වමින් එහි පරිපාලන නිලධාරිවරයා කියා සිටියේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සිටින නිලධාරීන්ට මාධ්‍යයට ප්‍රකාශ ලබා දීම චක්‍රලේඛයක් මඟින් තහනම් කර ඇති බවයි. එසේ පවසමින් පරිපාලන නිලධාරිවරයා දුරකතනය විසන්ධි කළේය.

– Dinamina –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *