අධිරුධිර පීඩනයට පිළිකා ඖෂධ දුන් කාන්තාව මියයයි – විස්තරේ මෙන්න

  • By editor
  • August 20, 2023
  • 0
  • 244 Views

කලක සිට අධික රුධිර පීඩනය සහ මධුමේහය රෝගයෙන් පීඩා විඳි වයෝවෘද්ධ කාන්තාවකට ඉංගිරිය නගරයේ ඖෂධ හලක් මගින් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් ලබා දීම හේතුවෙන් ඇය මියගොස් තිබෙන බවට වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ඉහළ ඌරුගල පදිංචිව සිටි පි එම් සෝමවතී 62 හැවිරිදි තිදරු මවකි

මියගිය කාන්තාවගේ සැමියා වන ඩබ්ලිව් , ලීලාරත්න මහතා සිය බිරිඳගේ රෝග විනිශ්චය පොත රැගෙන හොරණ මූලික රෝහලේ සායනයට ඉකුත් 31 වෙනි දින ගොස් වෛද්‍යවරයකු හමුවී ඇයට අවශ්‍ය ඖෂධ එම රෝග විනිශ්චය පොතේ සටහන් කර ගෙන ඇත.

ඒ අනුව රෝග විනිශ්චය පොතේ සටහන් කරන ලද ඖෂධ තුනක් රෝහලේ නොවීම හේතුවෙන් ඔහු විසින් එම ඖෂධ තුන අතෙහි තිබෙන මුදලට සරිලන ලෙස ඉංගිරිය නගරයේ පිහිටි ඖෂධ හලකින් මිලදී ගෙන තිබිණි

එම ඖෂධ සතියක් පමණ පානය කිරීමේදී මියගිය කාන්තාවට උස්ම ගැනීමේ අපහසුතාවය ශරීරයේ වේදනාව කල්පනාව අඩු වීම , බඩ බුරුල් කර යාම, මුත්‍රා යාම අඩුවීම පාදවල බිබිලි මෙන්ම මුඛයේ බිබිලි ආදී රෝග රැසක් හටගන්නට වූයෙන් ඇයව ඉංගිරිය දිසා රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි

දින දෙකක පමණ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබූව ද සුවයක් නොවී අසාධ්‍ය තත්ත්වයට පත්වීමත් සමඟම රෝහල් බලධාරීන් විසින් ඇයව ගිලන් රථයකින් හොරණ මූලික රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි

එහිදී පවුලේ ඥාතීන් ඇයගේ රෝග විනිශ්චය පොත මෙන්ම ලබා දුන් ඖෂධ රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ අතර ඇය රෝහලේ වාට්ටු අංක 8 හි ප්‍රතිකාර ලබමින් සිටියදී හෙදියක් විසින් ඇය ලබා ගත් ඖෂධ පරික්ෂා කිරීමේදී ඇය පානය කර තිබූ එක් ඖෂධයක් (methotrexate tablets ip 2.5 g ) පිළිකා රෝගීන් වෙත ලබාදෙන ඖෂධයක් බව ඔවුන්ට දැනුම් දී තිබිණි

එම ඖෂධයේ පිළිකා රෝගීන්ට ද ලබා දෙන්නේ සතියකට එක් දිනක් පමණක් බවත් එකී ඖෂධ හලින් දිනපතාම එම ඖෂධය ගන්නා ලෙස පිළිකා ඖෂධ බහා තිබූ පැකට්ටුවේ සටහන් යොදා ලබා දී ඇති බවද දැනගන්නට ඇත

ඊට අමතරව එම ඖෂධය පිළිකා රෝගීන්ට අමතරව ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග තියෙන පුද්ගලයන්ට ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්ති කරණ බව අඩු කර තබා ගැනීම සඳහා ලබා දෙන ඖෂධයක් ලෙස ද ලබාදෙන බවට අනාවරණය වී තිබිණි

ඉකුත් 12 දින සිට අද 19 අලුයම දක්වා
දින 7 ක කාලයක් ප්‍රතිකාර ලැබූව ද ඇයගේ රෝගී තත්ත්වය කිසිදු අඩුවක් නොවී ඇය අද අළුයම මියගොස් තිබිණි

මියගිය කාන්තාවගේ සැමියා වන ඩබ්ලිව් ලීලාරත්න මහතා ඇයගේ රෝග විනිශ්චය පොත සහ ඉංගිරිය නගරයේ ඖෂධ හලින් ලබාදුන් පිළිකා රෝගීන් වෙත ලබාදෙන ඖෂධය රැගෙන ඉංගිරිය පොලිසිය වෙත පැමිණ තම බිරිඳගේ මරණය සිදු වුණේ වගකීමෙන් තොරව සහ නොසැලිකිලිමත් අයුරින් ඉංගිරිය නගරයේ ඖෂධ හලකින් නිකුත් කළ ඖෂධයක් හේතුවෙන් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටි බව පොලිසිය සඳහන් කරයි

එම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *