අවුරා ලංකා සභාපති රාජාංගණය OIC ගේ පටි ගලවන්න හදයි – සම්පූර්ණ විස්තරේ මෙන්න

  • By editor
  • July 26, 2023
  • 0
  • 335 Views

අවුරා ලංකා සමාගම මගින් දින 20ක් පුරා රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ සංගීත ප්‍රසංග කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබා නොදීම නිසා එහි සභාපති විරංජිත් තාඹුගල විසින් රාජාංගණය ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

‘උඹගේ පටි ගලවනවා මේකට අවසර නොදුන්නොත්’ යැයි සංගීත සැණකෙළි භූමියේදී තමාට බැන තර්ජනය කොට රාජකාරියට බාධා කළ බව පවසමින් රාජාංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්. ගජසිංහ විසින් පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සටහනක් තබා ඇත.

කෙසෙවෙතත් ඒ පිළිබඳ උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත සී. ධමින්ද සහ අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (111) අමිල සෙනෙවිරත්න විමර්ශනයක් ආරම්භ කොට ඇත.

ඉකුත් 10 වන දා සිට විශාල ශබ්දවාහිනි පද්ධති හා අලංකාර රටා මවන විදුලි ආලෝක ධාරා මධ්‍යයේ දින දහහතරක් තිස්සේ රාත්‍රිය පුරාවට පැවති එම සංගීත සැණකෙළියට සම්පූර්ණ දින ගණන දින විස්සක් දක්වා තවත් දින හයකට දීර්ඝ කර දෙන ලෙසට කළ ඉල්ලීමක් පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ඔහුට මෙලෙස බැන තර්ජනය කොට ඇති බව සටහනෙහි දක්වා තිබේ.

සංගීත සැණකෙළියේ ශබ්දය හා ආලෝක ධාරා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වෙසෙන සත්ව ප්‍රජාවට පීඩාකාරී තත්ත්වයක් බැවින් එම සැණකෙළිය පැවැත්වීම සඳහා ඉදිරියටත් අවසර ලබා නොදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිසියෙන් ඉල්ලීමක් කර තිබුණි.

කෙසෙවෙතත් ඔහු තමන්ට බැන තර්ජනය කළ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු නොලැබුවේ ඒ වනවිටත් එම භූමියේ පන්දහසක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති බත් දන්සලක් නිසා බවත් එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ නම්, මහජන සාමය කඩවීමට ඉඩ තිබූ නිසා බව ත් පොලිස් ස්ථානාධිපති ගජසිංහ පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ වැඩිදුරටත් සටහන් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *