[ ජපන් ලේඛක වතනාබේ ඔන් ගේ “Losing My Father” කෙටිකතාවේ සිංහල පරිවර්තනය]
එදා ඒ උදයේ මම නින්දෙන් ඇහැරෙන විට තාත්තා මගේ ඇද ළග සිට සිය රැවුල බාමින් සිටියේය. මට මතක ඇති කාලයක ඔහු රැවුල කපා තිබුණේ නැත. උදෑසන සිහිල් සුළං රැල්ලෙන් ඈත් මෑත් වූ ජනෙල් රෙදි අතරින් ගෙට ආ පැහැපත් මෘදු හිරු රැසින් තාත්තාගේ මුහුණ ඔපවත් වී තිබුණි. පුංචි කුරුල්ලන්ගේ හීනි කිචිබිචිය අවටින් ඇසෙන්නට විය.
“අද හොද දාවසක් නේද තාත්තේ”, මම ඇදේම සිට ඔහු දෙස බලමින් ඇසුවෙමි.
“හූම්…හොද දවසක්…!!! මම අද ඔයාව වරාය බලන්න එක්කගෙන යනවා ඉක්මනට ලෑස්ති වෙන්න කෝ”, ඔහු මුහුණේ වූ අවසන් රැවුල් ගස් කිහිපයද ප්‍රවේශමින් බාමින් කීවේය.
“ඒ කිව්වේ…??? හරි ෂෝක්…!!!” “ඒත් ඇයි තාත්තේ ඔයා රැවුල කපන්නේ…???”
“මගේ රැවුල තියෙනකොට මාව පේන්නේ ඔයාගේ තාත්තා වගේ ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද…???” ඇගිල්ලෙන් දිව මදින ගමන් ම ඔහු මා දෙස බලමින් ඇසුවේය.
“ඔයා මොනවා ගැනද කියන්නේ මට තේරෙන්නේ නෑ…!!!”
“ඒ කිව්වේ මම රැවුල කපා ගත්තහම තාත්තා කෙනෙකුට වඩා අඩු වයසක් මට පෙනෙයි… ඒක නෙවේ මම කල්පනා කළේ අද ඔයාව වරායට එක්ක ගිහින් එහෙ දාලා එන්න, හොද නැද්ද…??? හග්හා” ඔහු සිනාසෙමින් කීවේය.
“බොරු කියන්න එපා” මම ඇදෙන් බිමට පනිමින් කීවෙමි.

හනිහනිකට පැලැනල් ඇදුමක් මට ඇන්දූ තාත්තා ඉන්පෙර කිසිදිනෙක මා දැක නැති අන්දමේ සුවද හමන, අපූරු පිදුරු තොප්පියක් ද මා හිස පළදා රතු ටයි පටියක් ද ගෙල බැන්දේය. අනතුරුව අපි ගෙදරින් එළියට බැසීමු. ඒ ග්‍රීෂ්ම උදෑසන දම් පාට හා රෝස පාට ගැන්වූ අහස් වියන් යට වූ ගෙවල් තුළට වැදී මිනිසුන් තවමත් සුව නින්දේ පසුවූහ. තාත්තා ද මම ද අත්හැර දැමූ මහමග ඔස්සේ දුම්‍රියපොළ දෙසට ගියෙමු. ඒ ගමනේදී තාත්තා සිය දිගු සැරයැටිය තමා වටේම කරකවමින් ගියේ අපූරු තාලයකට ය.
“මම හිතන්නේ අපට කාගෙවත් පස්සේ යන්න ඕනේ වෙන එකක් නෑ…” ඔහු ඔහුට ම කියාගත්තේය.
“ඇයි…???” මම ඇසුවෙමි. ඒත් ඔහු මා හා කතා කළේ නැත. ඔහු ගියේ තනිවම කතාකරමිනි.
“මේ කොල්ලා තමා කරදරේ… අවුරුදු දහයක් වෙන්වෙලා හිටපු තාත්තෙකුයි පුතෙකුයි. අනේ කොල්ලෝ මට මේ හැමදේම එපා වෙලා දැන්…”
“ඇයි…???” මම නැවතත් ඔහුගේ මුහුණට එබෙමින් ඇසුවෙමි. කිසිවක් නොකියූ ඔහු සිනාසුණේය. මා කියන දෙය නෑසෙන ගාණනට මහ හයියෙන් සිනාසුණේය. මගේ සිත අවුල් විය. කිසිවක් සිතාගැනීමට නොහැකිය. මම ඔහු අසලට යෑමට උත්සාහ කළද මා ගැන තැකීමක් නොකළ ඔහු මා ඉවතට තල්ලු කළේය. ඉන්පසු මදක් මා දෙස බලාසිටි ඔහු මෘදු ස්වරයෙන් මෙසේ කීය.
“ඉක්මන් කරන්න. තවත් ළංවුණොත් මිනිස්සු හිතයි අපි දෙන්නා සහෝදරයෝ කියලා. එහෙම වෙන්න බෑ…” මම කේන්තිය ද මුසු වූ රවාගත් බැල්මෙන් රැවුල බා ඔපවත්ව ඇති ඔහුගේ මුහුණ හා රතු ටයි පටිය දෙස හිස හරවා බැලුවෙමි.
ඒ සමගම පැමිණි දුම්‍රියට අපි ගොඩ වුණෙමු. තාත්තා පසුපස හැරී අප පසුකරගෙන යන නගර සීමාව දෙස බලා ‘තරුණයාගේ ආශාව’ යන ගීතය උරුණුවම් බාන්නට විය. ඔහු මා ගැන සැලකිල්ලක් නොදක්වන බව ඒවනවිටත් මා හට වැටහී තිබුණි.
“ඉතින් අපි යන්නේ නැව් බලන්නද…???” මම ඉතා උනන්දුවෙන් ඇසුවෙමි.
“ඔව්, සමහරවිට එකක යන්නටත් පුළුවන් වේවි…” ඔහු සිය කණ්ණාඩිය ඇස ලා ගැනීමට ප්‍රථම ඔහුගේ උඩ සාක්කුවෙන් ගත් දම් පැහැති ලේන්සුවෙන් කණ්ණාඩි වීදුරු දෙක හොඳින් පිස දැමුවේය. ඔහු කණ්ණාඩි දැම්මත් ඔහුගේ ඇස් පෙනීමේ දුර්වලතාවක් නොතිබුණි. ඔහුගේ ලේන්සුවෙන් හමා ආ ‘කෝටි කොලෝන්’ සුවදේ සැරට මට හුස්ම ගැනීමට පවා අපහසු විය.
“වරාය බලන්න යන එක ගැන එතරම් පුදුම විය යුතු නෑ”, ඔහු කීවේය.
“ඇයි තාත්තේ ඔයා කණ්ණාඩි දාන්නේ…” ඔහුගේ වූ අස්වාභාවික වෙනස්වීම පිළිබඳව පුදුමයට පත්ව මම ඇසුවෙමි. ඒ මොහොතේ ඔහුට හොඳටම කේන්ති ගියේය.
“තාත්තා…!!! මෝඩයා, තමුසෙ කොහොමද මම තමුසෙගෙ තාත්තා කියලා කියන්නේ…??? ආයේ පාරක් මට තාත්තා කියලා තිබුණොත් බලාගන්න පුලුවන් මං කරන දේ…!!!”
“…..” මම උදෑසන අවදිවන විට තාත්තා යැයි වටහා ගත්තේ වැරදි පුද්ගලයෙකු දැයි යන කනස්සලු සිතුවිල්ලෙන් මා පෙළුණෙමි. මා තාත්තා යැයි කියන පුද්ගලයා හා මා අතර ඇත්තේ මොන ඇයි හොඳයියක් ද…??? – ඕනෑ නම් ඔහු නිසැකවම මට වඩා අවුරුදු දහයක් පමණ වැඩි යැයි කෙනෙකුට දැන් සිතිය හැකිය. එහි වරදක් ද නැත. මගේ ඇග පණ නැතිවන ගතියක් දැනුණි. ජීවිතයටම මා දැන සිටි එකම පුද්ගලයා ඔහුය. මගේ මනස අවුල් සහගත සිතුවිලි රාශියකින් මා වටකර ගත්තේය.
“ඔය විදිහට මට පේන්න ඉන්න එපා. ඔයා අඩන්න ගත්තොත් මම ඔයාව මේ කෝච්චියේම දාමා යනවා…!!!” ඔහු ඉතා මෘදු ස්වරයෙන් කීවේය. ඒත් අනතුරුව ඔහු මා ළගට විත් මා සනසන්නට උත්සාහ කළේය.
“රැවටුණා ද…??? මං ඔයාට එහෙම කරයි කියල හිතනවද…??? මම ගොඩක් සතුටු වෙනවා ඔයා මාව අදුරගත්ත එක ගැන”, ඔහු සිනාසෙමින් කීවේය. මට එදා ගෙදර අතහැර ඒම පිළිබඳ ව පසුතැවිල්ලක් ඇතිවිය. කඳුලින් බොඳවූ දෑසින් යුතුව ජනේලයෙන් එපිට ඇති පරිසරය දෙස බලා සිටිනවා විනා වෙන කරන්නට කිසිවක් මට නොවීය.
අපි වරාය දුම්‍රියපොළට ළගා වුණෙමු. තාත්තා එහි සිටි රතුපාට සූට්කේස් දෙකක් තල්ලු කරගෙන යන සේවකයෙකුට කතා කළේය. මම ඉන් එක් සූට්කේසයක් ද සමග රේගුව දෙසට ධාවනය වන වාහනයකට ගොඩ වුණෙමි. තාත්තා මේ සූට්කේස් දෙක තනිමවම මෙහි ගෙනාවේ කෙසේද? මා පුදුමයට පත්වීමි. මම සූට්කේසයේ නාම පුවරුව දෙස බැලුවෙමි. එහි කිසිවක් ලියා නොතිබුණි. වාහනයේ ඉදිරි අසුනේ සිටි තාත්තා තදින් තම ‘හැට් තොප්පිය’ අල්ලාගෙන; සුළගේ ළෙලදෙන ටයිපටිය ද සහිතව ජනේලයෙන් හිස දමා ඉබිකටුවෙන් සෑදූ රාමු සහිත කණ්ණාඩි (tortoise-shell rimmed glasses) අතරින් සිනාසුණේය. ඔහ්!, එය භයානක, කපටි, කිසිදු හැගීමක් නැති මුහුණකි…!!! මට දුකක් ඇති විය. මම ඉවත බලා ගත්තෙමි.
ආරක්ෂක නිළධාරියා උදෑසන හතට ඉවත් වීමට නියමිත බව වරායට ඇතුලු වන ගේට්ටුවේ ඇති දැන්වීම් පුවරුවේ සඳහන් කර තිබුණි. තාත්තා ඔහු ළගට ගොස් බෑග් දෙක ඔහුගේ කකුල් දෙක ළග තැබුවේය. මම රේගුවේ සිට එහි නවතා තිබූ කළු පැහැති මල බැඳුණු යකඩ කඳක් සහිත නැව දෙස බලා සිටියෙමි. වැඩි වේලාවක් නොගොස් එතුළින් විශාල දෝංකාරයක් නංවමින් විශාල චිමිනියෙන් හුමාලයද සමඟ නාදයක් පිටවිය.
“සියල්ලටම ස්තූතියි…!!! ඔයා ඔයා ගැන බලාගන්න…!!!” තාත්තා නැව් තට්ටුවේ සිට සිනාමුසු මුහුණින් යුතුව මට කීවේය.
“ඔබටත් එසේම වේවා…!!!” මම නැව් තට්ටුව දෙස බලා මොර දුන්නෙමි. නැව පිටත් විය. තාත්තාගේ සමුගැනීම සනිටුහන් කිරීමට මෙන් ඔහු ඔහුගේ හිසරැදි ‘හැට් තොප්පිය’ ඉහළට ඔසවා එහෙමෙහෙ වැනුවේය. මමත් මගේ හිසරැදි ‘පිදුරු තොප්පිය’ ගෙන ඉහළට ඔසවා එහෙමෙහෙ වැනුවෙමි. මම රෙගුවේ බිම තිබූ ලොකු ගඩොල් කණුවක වාඩි වී කුමක් කරන්නේ දැයි සිතා ගත නොහී තවත් හෝරා කිහිපයක් එහි ම ගත කළෙමි.
අවසානයේ නිල් බොත්තමින් හා නිල් පැහැති නිල ඇදුමකින් සැරසුණු රේගු නිළධාරියෙකු මා වෙත පැමිණ මගේ උරහිසට අත තැබුවේය.
“මොකක්ද ප්‍රශ්නේ…??? තමුසෙ හදන්නේ මුහුදට පනින්නද…???” ඔහු ඇසුවේය. මට කිසිත් සිතාගැනීමට නොහැකිව එකවරම ඇඩුණි.
“හේ හේ…, ඇඩිල්ලෙන් කිසිම ඵලක් නෑ. මට කියන්න ඔයාට මොකද උනේ කියලා…”
“මට…මගේ… තාත්තා ව නැතිවුණා!” අවසානයේ දී මම පැවසුවෙමි. ඉන්පසු තාත්තා මා රැවටූ ආකාරය මම ඔහුට පැවසුවෙමි.
“ඔයාගේ තාත්තා මොන වගේද…???” ඔහු ඇසුවේය.
“මම ඔහුගේ රූපය මවා ගැනීමට උත්සාහ කළෙමි. ඔව්, එයා ඔයාගේ හැඩරුවට සමානයි. එයාට රැවුලක් නෑ; අවංකවම එයා ඔයා වගෙයි…!!!” මම කෑ ගසා කීවෙමි. ඒ අවස්ථාවේ ඔහු හොදින් රැවුල කපා තිබූ මුහුණ මත අත තබා පුදුමයෙන් බලා සිටියේය.
“රැවුලක් නැති මගේ තාත්තා, පිදුරු තොප්පිය, කණ්ණාඩි කුට්ටම, රතු ටයි පටිය, නියම මහත්තයෙකුගේ ලක්ෂණ. කරුණාවන්ත වූ රේගු නිළධාරියා සියලුම පෞද්ගලික තොරතුරු සටහන් කරගෙන විමර්ශනයක් සඳහා ආරක්ෂක නිළධාරියාට ලබාදුන්නේය. රතු ටයි පටිය හොද සාක්ෂියක් වුණාට දරුවා ඔයා දීපු අනික් තොරතුරු මහ සෙනගක් අතරින් එයාව සොයාගන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි නොවේ. අවසානයේ නිළධාරියා පැහැදිලි කළේය.
ඒ උදෑසන මගේ තාත්තා මා අතහැර දැමුවේ එලෙස ය. ඉන්පසු මම තනිවුණෙමි. මා හට ජීවිකාවක් පවත්වාගෙන යෑම ඉතාමත් අසීරු කටයුත්තක් විය. ඒ කෙසේ හෝ වේවා මොන අමාරුකම් පැමිණියත් ඔහුගේ මුහුණ රැවුලක් ඇතිව හෝ නැතිව මගේ මතකයේ සදාකාලිකව රැදී පවතින්නේය.
පරිවර්තනය,
රසිත ජයවීර