පොලිස් අත්අඩංගුවේ සිටියදී විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන යන සැකකරුවන්ගේ ජීවිත හානි සිදුවීම් අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් පොලිස්පතිවරයා සකස් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා විසින් ඊයේ (03 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මින් පෙර දිනක අධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් මත පොලිස්පතිවරයා (3 වැනිදා) අධිකරණය හමුවේ පෙනී සිටි අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් මෙම දැනුම්දීම සිදු කළේය.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා පොලිස්පතිවරයා අමතමින් මෙහිදී කියා සිටියේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මෙන්ම පොලිසිය කෙරෙහි පවතින විශ්වාසය ආරක්ෂා කිරීම සඳහාත් අධිකරණය මෙවැනි මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝග නිකුත් කළ බවයි.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ පහත කරුණු සඳහන් වේ.
අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරින්ගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු අතර ස්වාභාවික අසනීපයක් වැනි අවස්ථාවලදී පවා ඔවුන්ගෙන් තොරතුරු විමසා රෝහල්ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ යුතුවේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් එම මාර්ගෝපදේශවල සඳහන් වේ.
එවැනි සැකකරුවන් අත්අඩංගුවේ සිටින අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ස්ථානාධිපතිවරු වගබලා ගත යුතු අතර සෑම පැය භාගයකට වරක්ම සැකකරු පිළිබඳව පරීක්ෂාකර උප සේවා නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් යෙදිය යුතුවේ. එවැනි සැකකරුවකු පිටතට රැගෙන යාමට අවශ්‍ය අවස්ථාවේදී ඒ පිළිබඳව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ඊට අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය. අවශ්‍ය කරුණකදී හැර සැකකරුවන් පිටතට රැගෙන නොයාමට වගබලා ගත යුතු අතර එසේ පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව නිශ්චිත සටහන් යෙදිය යුතු බවත් අවි ආයුධ උදුරා ගැනීමට තැත් කිරීමේ සිද්ධීන් හා සැකකරුවන් පැන යාම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතු අතර එසේ කිරීමට නොහැකි වන පරිදි අදාළ සැකකරු සුදුසු වාහනයක් තුළ සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමටද වග බලා ගත යුතු බවත් එහි සඳහන් වේ.
ගිනි අවි සහ අත්බෝම්බ සඟවා ඇති ස්ථානවලට සැකකරුවන් රැගෙන යන අවස්ථාවලදී අත් විලංගු ලා රැගෙන යාමට නිලධාරින් වගබලා ගත යුතු අතර සැකකරුගේ මගපෙන්වීම මත නිලධාරින් විසින් අදාළ සෝදිසිය සහ පරික්ෂාව සැකකරු ඉදිරියේ සිදු කළ යුතු බව අදාළ මාර්ග උපදේශවල සඳහන් කර ඇත. එවැනි සෑම අවස්ථාවකදීම වීඩියෝගත කිරීමට නිලධාරින් වගබලා ගත යුතු අතර එවැනි වීඩියෝ දර්ශන සැකකරුවකුට එරෙහිව සාක්ෂියක් වශයෙන්ද යොදා ගැනීමට හැකියාව පවතින අතර යම් සිදුවීමක් ඇති වුණ හොත් එහි විනිවිද භාවය ආරක්ෂා කිරීමටත් එය වැදගත් වන බවත් අදාළ මාර්ගෝපදේශවලින් පෙන්වා දී තිබේ.
මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිටතට විමර්ශන කටයුතු සඳහා රැගෙන යාමේදී මෙම උපදෙස් මාලාව අනුව කටයුතු කිරීමට නිලධාරින් වගබලා ගත යුතු බවත් මෙම උපදෙස්වලට පටහැනිව යම් නිලධාරියකු කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට නිකුත් කර තිබෙන මෙම මාර්ගෝපදේශ මාලාව තුළන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.