ආරක්ෂක ලේකම්ට සහ හමුදාපතිට මන්ත්‍රී චන්දිමගෙන් සමාව ගන්නැයි නියෝග

  • By editor
  • February 12, 2024
  • 0
  • 63 Views

ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩිගෙන් සමාව අයදිය යුතු බවට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.

මෙම නිර්දේශය කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා තමන් සමග ඇති කර ගත් වචන හුවමාරුවක් සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ කර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයෙන් පසුවය.

සන්නද්ධ හමුදාවල කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් එදින ආංශික අධීක්ෂණ කාරක සභාව සාකච්ඡා කර තිබෙන අතර එහිදී මන්ත්‍රිවරයා ඊට විකල්පයක් වශයෙන් සඳහන් කර ඇත්තේ කාර්ය මණ්ඩලය අඩු කිරීම වෙනුවට සන්නද්ධ හමුදාවේ ඉහළ නිලධාරීන්ට ලබා දී තිබෙන පහසුකම් අඩු කිරීම යෝග්‍ය බවය. මෙම අවස්ථාවේ දී ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා තමන් බිය ගන්වමින් සහ තර්ජනය කරමින් තමන් සමග වාද කළ බව මන්ත්‍රිවරයා විමර්ශනයේ දී පවසා තිබේ.

තව ද එක්තරා රාත්‍රියක දී යුධ හමුදා වාහන දහතුනකින් යුත් රථ පෙළපාළියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරනු දුටු බවත් මෙම පෙළපාළිය යුද හමුදාපතිවරයාගේ ආරක්ෂාව සඳහා යැයි තමන්ට සැකයක් ඇති වූ බවත් පවසා ඇති මන්ත්‍රිවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ බවත් පවසා ඇත. ඒ සම්බන්ධයෙන් ද ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ආරක්ෂක ලේකම්වරයා සහ යුධ හමුදාපතිවරයා දිගින් දිගටම තමන්ට අපහාස කළ බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට අදාළව බිය ගැන්වීම පැහැදිලිවම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට අනුව වරදක් යැයි මන්ත්‍රිවරයා පැවසූ බව විමර්ශන වාර්තාවේ සඳහන්ව තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර, ආරක්ෂක ලේකම්වරයා සහ යුධ හමුදාපතිවරයා ද වරප්‍රසාද කාරක සභාවට කැඳවා ප්‍රකාශ ලබා ගෙන ඇත.

මන්ත්‍රිවරයා ආරම්භයේ දී සිය ප්‍රකාශය ඉතා සාමකාමීව සිදු කර ඇති නමුත් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් ඊට ලැබුණු ප්‍රතිචාරය අනුව කාරක සභා රැස්වීම කලහකාරී වී තිබෙන බව ද විමර්ශන වාර්තාව පෙන්වා දෙයි.

කාරක සභාව අපක්ෂපාතීව මෙහෙයවමින් මන්ත්‍රිවරයන්ගේ වරප්‍රසාද සුරැකීමට සභාපතිවරුන් කටයුතු කළ යුතු බවටත් කාරක සභාවන්ට සහභාගී වන නිලධාරීන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ගැන දැනුවත් විය යුතු බවටත් කාරක සභාව නිර්දේශ කර තිබේ.

එම කාරක සභාවේ නිර්දේශය අනුව ආරක්ෂක ලේකම්වරයා සහ යුධ හමුදාපතිවරයා මන්ත්‍රිවරයාට කනගාටුව පළ කර ඇත.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි චමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පසුගිය වසරේ දී පැමිණිලි පහළොවක් විමර්ශනය කර නිර්දේශ ලබා දී ඇත.

-aruna-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *