ඉන්දීය රුපියල් කෝටි 215 ක කප්පම් නඩුවක ලංකාවේ ජැක්ලයින් විත්තිකාරියක වෙයි

  • By admin
  • March 21, 2023
  • 0
  • 149 Views

ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධ ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුවේ විත්තිකාරියක් ලෙස ශ්‍රී ලංකා සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් නම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සුකේෂ් චන්ද්‍රශේකර් රැන්බැක්සි ආයතනයේ හිටපු ප්‍රවර්ධකයකු වන ශිවේන්ද්‍ර සිංග් මහතාට ඇප ලබා දෙන බව පවසා ඔහුගේ බිරිඳ වන ආදිති සිංග් මහත්මිය රවටා ඉන්දීය රුපියල් කෝටි 215 කට ආසන්න මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකකය විමර්ෂණයක් ආරම්භ කළේය.

එසේ ලබාගත් මුදලින් ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මියට ඉන්දීය රුපියල් කෝටි 5.71 ක තෑගි ලබා දී තිබූ අතර සුකේෂ් චන්ද්‍රශේකර් මහතා සහ ජැකලීන් ෆර්නැන්ඩස් මහත්මිය අතර සමීප හිතවත්කමක් පැවැතිම හේතුවෙන් මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් පසුගිය වසරේ අගෝස්තු මස ජැකලීන් ෆර්නැන්ඩස්ගෙන් පැය 5 කට අධික කාලයක් ලෙස ප්‍රශ්න කළේය.

එහිදී සුකේෂ් චන්ද්‍රශේකර්ගේ බිරිඳ ලීනා පෝල් හරහා තමන් චන්ද්‍රශේකර් හඳුනාගත් බවත්, සුකේෂ් චන්ද්‍රශේකර් තමන්ට ද මුදල් වංචාවක් කළ බවත් ප්‍රශ්න කිරීම්වල දී ජැක්ලින් ෆර්නැන්ඩස් හෙළි කළ බව ඉන්දීය මාධ්‍ය පැවසුවේය.

සුකේෂ් චන්ද්‍රශේකර් මහතා වංචනිකව ලබා ගත් මුදලින් තමාට තෑගි ලබා දෙන බව ජැකලීන් ෆර්නැන්ඩස් දැන සිටි බව චෝදනා කරමින් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් ෆර්ඩිනැන්ඩස් මහත්මිය සුකේෂ් චන්ද්‍රශේකර්ගේ නඩුවේ විත්තිකාරියක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *