එදා එපා වූ රාජිත වෛද්‍ය සංගමයට මෙදා ඕනෑ වෙයි

  • By editor
  • October 19, 2023
  • 0
  • 282 Views

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා හමුවී අට වැදෑරුම් වැඩ පිළිවෙලක් ලබාදීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවේදීය.

සෞඛ්‍ය සේවාවේ වත්මන් අර්බුදය පිළිබදව මෙහිදී සාකච්ඡා කළ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවාව විනාශ කර ඇති බවයි. එම නිසා සෞඛ්‍ය සේවාවට නව අමාත්‍යවරයෙකු පත් කිරීමේ අවශ්‍යතාවය එම සංගමය පෙන්වාදී ඇත. 

ජනාධිපතිවරයා හමුවීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද හමුවූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් කරන ලෙසයි. එවැනි පත් කිරීමක් සිදු කළහොත් සිය පූර්ණ සහාය ලබාදෙන බව එම සංගමය හිටපු ජනාධිපතිවරයාට දැනුම්දී ඇත. එහිදී හිටපු ජනාධිපතිවරයාද ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය සේවාවේ අර්බුදයට කඩිනම් විසදුමක් අවශ්‍ය වන බවයි.

කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ද සෞඛ්‍ය අමාත්‍යධූරයට සුදුසු බවට පැතිර යන ආරංචි පිළිබදවද මෙහිදී සාකච්ඡා කළ අතර ඔහු පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත. කෙසේ වෙතත් යහ පාලන ආණ්ඩු සමයේ සෞඛ්‍ය අමත්‍යවරයා ලෙස සිටි රාජිත සේනාරත්න සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර මත ගැටුම් රැසක් පැවැතිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *