ඖෂධ හිඟය බරපතලයි – රෝහල් සේවා බිඳ වැටීමේ අවධනමක්

  • By editor
  • December 10, 2023
  • 0
  • 127 Views

රජයේ රෝහල්වල භාවිතය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමත කරන ලද ඖෂධ 850 අතරින් ඖෂධ වර්ග 250 ක තොග මේ වනවිට මුළුමනින්ම අවසන් වී ඇතිබව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. 

එම ඖෂධ අතර හෘද රෝගීන් වෙනුවෙන් භාවිතාකරනා ඖෂධ විශාල ප්‍රමාණයක් වන අතර, දියවැඩියාව, පිළිකා, ආතරයිටීස්, චර්මරෝග සඳහා ලබාදෙන ඖෂධ වර්ගද වන බව වාර්තා වේ. ඊට අමතරව අත්‍යාවශ්‍ය ප්‍රතිජීවක සහ නිර්වින්දක ඖෂධද  ඒ අතර වන බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි .

වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග තොග සමාලෝචන රැස්වීම් සතිපතා පැවැත්වූවද හිඟ ඖෂධ සපයා ගැනීම පිළිබඳ ක්‍රමවේදයක් සකසා ගැනීමට අසමත්ව ඇති බවත්, සති පතා ඖෂධ 10 ත් 15 ත් අතර ගණනක් තොග අවසන් වීම නිසා බරපතල ඖෂධ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බවත් වාර්තා වේ. 

මේ පිළිබඳ ” සතියට” අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ  සභාපති රවී කුමුදේශ් පවසනුයේ වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක ප්‍රමාණයක් නොමතිබවත්, තවත් ඖෂධ 110 ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට පමණක් බවත්  ඒ අනූව ලබන වසර ආරම්භ කරන්නට වෙන්නේ ඖෂධ තුන්සියයක පමණ හිඟයක් සමග බවය .

ඖෂධ වර්ග 86 ක් රෝහල් ගබඩාවල පවා නොමැති බවත් , මේ ඖෂධ හිඟය නැති කරන්නට නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ සැලැස්ම ඔහු පැහැඳිළි කළ යුතු බවත්, මෙම ඖෂධ ලබාදිය හැකි දිනයක් පිළිබඳව රෝගීන් දැනුවත් කළයුතු බවත් ඔහු පවසයි . පුටු රත් කරන්න නිලධාරීන් පත් කරන්නේ නැතුව වහාම ඔවුන්ගෙන් සැලැස්මක් ලබා ගෙන එකි සැලැස්ම රටට ඉදිරිපත් කළ යුතු බවත්, සෞඛ්‍ය සේවාව ගොඩ ගැනීම සඳහා ඉලක්කගත වැඩ පිළිවෙලකට අනුගත නිළධාරීන් අත්‍යාවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය. 

සාමාන්‍ය ක්‍රමවේදය අනුව සෑම වසාරකම දෙසැම්බර් 20 වන විට වාර්ෂික තොග සමීක්ෂණ සඳහා ඖෂධ සැපයීම් අංශය තොග බාර ගැනීම සහ නිකුත් කිරීම නතර කරනා බවත් එම නිසා ඉදිරියේදී තවත් ඖෂධ වර්ග 100 ක් පමණ හිඟයක් ඇතිවී සමස්ත ඖෂධ හිඟය 350 දක්වා ඉහළ ගොස් රෝහල් සේවා බිඳ වැටීමට පවා ඉඩ ඇතිබව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. 

නව සෞඛ්‍ය ලේකම්වරයෙක් පත්වුවද පසුගිය කාලයේ පැවති ඖෂධ හිඟය නොවෙනස්ව පවතින බව  සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වාදෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *