කුරුණෑගල දොරොදත්‍ත වැවේ මසුන් ඇල්ලූ අයට අභිරහස් උණක් – දෙදෙනෙක් මරුට

  • By editor
  • August 13, 2023
  • 0
  • 216 Views

කිරිඳිවැල්ගාල, දොරාදත්ත වැවේ මසුන් ඇල්ලීමට ගිය ප්‍රදේශයේ තරුණයන් 11 දෙනකු හදිසි උණ රෝගයකට ලක්ව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිඳිවැල්ගාල ප්‍රදේශයේ පදිංචිව සිටි අමිල අජන්ත කුමාර සහ ජීවන් චතුරංග නමැති තරුණයන් දෙදෙනකි.

මේ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් මෙම වැව සිදී ගොස් ඇති අතර අදාල පිරිස එහි මසුන් ඇල්ලීමට ගොස් තිබේ.

ඉන් දින කීපයකට පසුව එසේ ගිය පිරිසෙන් එකොළොස් දෙනකු පමණ උණ රෝගයකට ලක්ව හිරිපිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී අසාධ්‍ය තත්වයට පත්වූ කිහිප දෙනකු ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙක් මෙලෙස මියගොස් තිබේ.

එහි සිට මෙම තරුණයන් දෙදෙනා පසුගිය 9 වැනිදා මරණයට පත්ව ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. මියගිය තරුණයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පවත්වන ලද අතර අධිකරණ වෛද්‍යවරුන් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දී ඇත.

මරණයට හේතුවක් අනාවරණය කර ගැනීම සඳහා මියගිය තරුණයන්ගේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ පිහිටි රජයේ වෛද්‍ය රසායනාගාරයට යවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *