කෙහෙලියගේ ඩීල් එකට බාල්දියක් – මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයටත් අවසර

  • By editor
  • April 7, 2023
  • 0
  • 155 Views

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින්
ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(06) අවසර ලබාදුන්නේය.

ඒ අනුව අදාල සමාගම් වලින් දැනටමත් ආනයනය කර තිබෙන
ඖෂධ තොග වලට අදාළ ලේඛන ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කර එම ඖෂධවල නිසි ප්‍රමිතියක් පවතින බවට තහවුරු වුවහොත් පමණක් ඒවා මුදා හැරීමට හැකියාව තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේය.

ඊට අමතරව ආනයනය කිරීමට නියමිත ඖෂධ තොග වල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවශ්‍ය තහවුරු කරගැනීම් කරගන්නා තුරු ඒවා තව දුරටත් ආනයනය කිරීම වලක්වාලීමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබූහ.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 18 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කලේය.

නඩු විභාගයේ දී අදහස් දැක්වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඖෂධ ආනයනය මහජනයාගේ සෞඛ්‍යය හා බැඳුණු ඉතා වැදගත් කටයුත්තක් බැවින් එම කටයුතු වඩා විනිවිද භාවයකින් යුතුව සිදුවිය බව අවධාරනය කලාය.

“ඖෂධ ආනයනය යනු මහජන සෞඛ්‍ය හා බැඳුණු වැදගත් කටයුත්තක්. එය වඩාත් විනිවිද භාවයකින් සිදු විය යුතුයි. ප්‍රමිතිය තහවුරු නොකල ඖෂධ ආනයනය කරනවා නම් එය අනතුරුදායකයි. මේවා දරුවන්ට ලබා දෙන්නේ කොහොමද?” යනුවෙන් විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් “ඖෂධ ගෙන්වීමට අවශ්‍ය නම් වෙළදපොල සමීක්ෂණයක් සිදුකර තරගකාරී මිලගණන් යටතේ ඒවා ගෙන්වීමට හැකියාව තිබෙනවා. එසේ නොකර ලියාපදිංචි නොකළ සමාගම් වලින් ප්‍රමිතිය තහවුරු නොකල ඖෂධ මිලදී ගැනීම ගැටළු සහගතයි. මේ වගේ කටයුතු අවිධිමත් ක්‍රියා වලටත් මග පෑදෙනවා” යනුවෙන් විනිසුරු කෝදාගොඩ මහතා කියා සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඖෂධ ආනයනය මිලදී ගැනීමට නියමිත සමාගම් නිසි පරිදි ලියාපදිංචි කර නොමැති බව පෙන්වා දුන්නේය. ඒවා මිලදී ගැනීමට පෙර අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවත් මෙවැනි ක්‍රියා නිසා අදාළ ගණුදෙනුවේ විනිවිද භාවය පිළිබඳ බරපතල සැකයක් මතුවන බව සඳහන් කළ දයාරත්න මහතා මෙවැනි ක්‍රියා හරහා දූෂණයට මග පෑදෙන බවත් චෝදනා කලේය.

සෞබ්‍ය අමාත්‍යවරයාට ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගිය කාලයේ රට තුළ මතුවූ බරපතල ඖෂධ හිගය සැලකිල්ලට ගෙන හදිසි මිලදී ගැනීමේ පදනම යටතේ මෙම සමාගම් වලින් ඖෂධ ආනයනය කිරීමට වග උත්තරකරුවන් කටයුතු කළ බව සඳහන් කළේය. මෙසේ ආනයනය කිරීමට නියමිත ඖෂධ කල් ඉකුත් වූ ඒවා බවට පෙත්සම්කාර පාර්ශ්වය මතු කරනු ලබන කරුණු ප්‍රතික්ෂේප කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒවා කල් ඉකුත් වන්නේ 2025 වසරේ බවත් කියා සිටියේය.
මෙම ඖෂධ ආනයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බවත් ඔහු කීවේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ සේනානි දයාරත්න මහතා කියා සිටියේ අදාළ ඖෂධ කල් ඉකුත් වන්නේ 2025 වසරේ බව වග උත්තරකරුවන් සදහන් කලද ඒ බව තහවුරු කරන කිසිදු සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව කියා සිටියේය. ආනයනය කිරීමට නියමිත ඖෂධ දේශීය සහ ජාත්‍යන්තරව පිළිගත් කිසිදු ක්‍රමවේදයක් හරහා පරීක්ෂාවට ලක් වී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී ඖෂධවල ප්‍රමිතිය හා තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බව පෙනී යන හෙයින් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බව තීන්දු කළහ. ඉන් අනතුරුව අධිකරණය විසින් අතුරු නියෝග ද නිකුත් කරන ලදී.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා, සැවොරයිට් පාමසිකල් ප්‍රයිවට් ලිමිටඩ්, කෞෂික් තෙරපියුටිස් පුද්ගලික සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දිය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි. මෙවැනි තීරණයක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් පෙත්සමෙන් වැඩි දුරටත් චෝදනා කර තිබේ.

මේ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ඖෂධ මෙරටට ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *