සූදු සහ ඔට්ටු බදු නොගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නඩු පවරා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස පත් කිරීමට යෝජනා වී ඇත.
ඔහු විසින් මුදල් විශුද්ධිකරණයද සිදුකරන බවට ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් තහවුරු කරගෙන ඇති අතර ඒ පිළිබද තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමටද තීරණය වී ඇත.
ජනාධිපතිවරණය එළබෙන වසරේ පැවැත්වෙන බවට ඉඟි පලවීමත් සමග ජනතා අවධානය යොමුවෙමින් පවතිනුයේ ඊට ඉදිරිපත්වෙන්නේ කවුරුන්දැයි කියා දැන ගැනීමටය. දේශපාලන ක්ෂේස්ත්රයේ මේවන විට පලවන වාර්තාවනට අනුව ශ්‍රී ලංකාවේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා වන්නට තිදෙනෙක් තරග බිමට එළඹ සිටිති . ඉන් පළමුවැන්නා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහය . දෙවැන්නා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසය. තුන් වැන්නා ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායකය. එහෙත් වත්මන් ආණ්ඩුවේ බහුතරය හිමි පොදුජන පෙරමුණ ජනධිපතිවරණය උදෙසා කුමණ වැඩ පිළිවෙලක් අනුගමනය කරන්නේද, තම පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්කරන්නෙන්ද යන කරුණු තවමත් අවින්ස්චිතය.
පොහොට්ටුවේ කොටසක් වත්මන් ජනපතිවරයා සමග සිට ගනිද්දී තවත් කොටස් බොරුවට හෝ ඇත්තට ඔහුගේ කකුළෙන් අදිමින් සිටිති. ඒ අතර ඔටුන්න හිමි කුමාරයෙක් දොරට වඩමවන්නට පොහොට්ටුව් හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය උත්සහ ගනිමින් සිටී. මේ සියළු ජරමර අස්සේ 2019 රටේ ජනමතය පොහොට්ටුව වෙනුවෙන් හදන්නට නාග ලෝකයෙන් නාග ධාතු වැඩමවූ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිළිත් ජයවීර, හේමකුමාර නානායකකාරගේ මවිබිම ජනතා පක්ෂයේ නායකත්වය ලබාගෙන වෙනමම නැටුමකට සූදානම් වෙමින් සිටී. දිළිත් සහ හේමකුමාර යන දෙදෙනාම ගාලු වැසියන් වුවත් මේ ගනුදෙනුව හුදෙක් ගමේකමට සිදුවූවක් නොව එළබෙන ජනාධිපතිවරණය ඉලක්ක කර සිදුවූවක් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ව්‍යාපාරිකයෙක් ශ්‍රී ලංකාවේ මීලග ජනාධිපති වීමට උත්සහ දැරීම කලක සිට ලංකාවේ දේශපාලනයේ උඩ යට යමින් තිබෙනා ආරංචියකි. සැකැවින් පවසතොත් ඊට ඇත්තේ 1980 මුල්භාගය තෙක් දිවෙනා ඉතිහාසයකි. එවකට ලංකාවේ අංක එකේ කෝටිපතියාවූ උපාලී විජේවර්ධන ලංකාවේ ජනාධිපතිවීමට සූදානම් බවට පළවූ පුවත ඊට නිදසුනකි. පසුකාලයක සිදුවූ ඔහුගේ අතුරුදන් වීමටද මේ දේශපාලන සූදානම බලපෑ බව එවකට කටකතා පැතිරෙන්නට විය. ඊට අමතරව වරක් සිද්ධාලේප වෙදමහතායයි රටම හඳුනන ව්‍යාපාරිකයෙක් වූ වික්ටර් හෙට්ටිගොඩද ජනාධිපතිවරණයට ඉදිරිපත්වී අමතක නොවනා පරාජයක් ලැබුවේය . මේ ලයිස්තුවේ ඊළගට කියවෙන්නේ දේශමාන්‍ය ලලිත් කොතලාවලය. ඔහුට අවසානයේ ජනාධිපතිවීම පසෙක තබා හිරේ වැටෙන්නටය. ඒ පිටුපස වෙනමම කථාවක් ඇතිබව මෙහි සඳහන් කළ යුතුය .
මේ කිසිවෙකුටත් ජනාධිපති වීමට හැකිවූයේ නැත. එහෙත් ව්‍යාපාරිකයන් ජනාධිපතිවීමේ සිහිනය අත හැරියේද නැත. මෑතකාලයේ වෙන්ඩ ජනාධිපති ලයිස්තුවට එක්වූ අළුත්ම ව්‍යාපාරිකයා වර්තමාන ශ්‍රී ලංකාවේ අංක එකේ කෝටිපතියා වන ධම්මික පෙරේරාය. ශ්‍රී ලංකාවේ කැසිනෝ රජා ලෙසින් විරුදය ලද ධම්මික පෙරේරා, මෙරට මූල්‍ය ආයතන ගණනන්වක මෙන්ම ටයිල් නිෂ්පාදනයේද ඒකාධිකාරි බලය හිමි ව්‍යාපාරිකයාය.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මේ වන විටත් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකි. ඊට අමතරව ඔහු කෙටිකලක් අමාත්‍ය ධූරයක්ද දැරුවේය. ඒ අනුව ජනාධිපති සිහිනය දුටු පෙර ව්‍යාපාරිකයන්ට වඩා දුරක් යාමට ඔහු සමත්ව සිටී. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිවරයෙක් වීම හුදු අහම්බයක් නොව සැලසුම් කර ඇටවූ දේශපාලන ක්‍රියාන්විතයක ප්රතිඵලයකි. ඔහු ගෙන ඒමේ සැළසුම සකසන්නේ අන්කිසිවෙක් නොව දිළිත් ජයවීරය. දිළිත්ගේ සැලසුමට අනුව ධම්මික අගමැති කර පසුව ජනාධිපති ධුරාපේක්ෂක කමට යෝජනා කිරීමට නියමිතව තිබුනි. ධම්මිකව දේශපාලනයට රැගෙන ඒමේදී මුලින් ඔහුට මුදල් ඇමතිකම ලබාදෙන්නට සැලසුමක් වු මුත් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූයේ නැත . ධම්මිකට හිමිවූයේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයය. එහෙත් දේශපාලනයේ වූ ඌණ කියවීම නිසා ඔහු වැඩ ඇල්ලුවේ එවකට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විවේචනය කරමිනි. මේ අරෝව නිසා ධම්මිකගේ තටු කපා පැත්තකින් තියන්නට රනිල් තීරණය කරන්නේය .
අවසානයේ සිදුවූයේ අනිකකි. බෙදන්නට හිටි එකා ගොට්ට ගසා ගත්තා මෙන් ධම්මික ලංකාවේ ජනාධිපති කරන්නට සැළසුම් සෑදූ දිළිත් ජයවීරද ජනාධිපති තරගයට පිවිසිම නිසා ධම්මික පෙරේරාට සිදුවූයේ දේශපාලන වංග ගිරියක අතරමං වීමටය. වාර්තාවන ආකාරයට දේශපාලනයෙ අතරමං වන්නට ගිය ධම්මිකට පාර කියන්නට පොහොට්ටුව සූදානමින් සිටී. ඒ අනුව එළබෙන ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ තම අපේක්ෂකයා කිරීමට සූදානම් වනුයේ අන් කිසිවෙක් නොව මේ කියනා ධම්මික පෙරේරාය. ලංකාවේ අංක එකේ කෝටිපතියා වන්නේ ඔහුය. එමෙන්ම ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය කැසිනෝ ඔට්ටු මධ්‍යස්ථන පවත්වාගෙනයාමය. එහෙත් මේ කිසිවක් ඔහුට ජනාධිපති ධූරයට පත්වීමට බාධාවන් යයි අපි නොසිතන්නෙමු . එහෙත් ධම්මික පෙරේරා ජනාධිපති ධූරයට ඉදිරිපත් වෙන පුවත මේ වන විටත් සැළකිවයුතු ආන්දෝලනයක් ඇතිකර ඇත්තේය. ඊට හේතුව ව්‍යාපාරිකයෙක් වන ධම්මික පෙරේරට එරෙහිව බදු වංචා කිරීම් පිළිබඳ බරපතල චෝදනා රැසක් නැගෙනින් තිබීමය.
ලංකවේ නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුනට රජය සමග ගණුදෙණු කිරීම පිළිබඳ නීති රැසක් පවති. මෙරට මූල්‍ය වෙළඳපොළේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙක් වන ධම්මික පෙරෙරා සතු සමාගම් රැසක් විවිධාකාර ගනුදෙනුවල නියැලෙන නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ දිවිරුම් දීමට පෙර ඔහු එකී සමාගම්වලින් ඉල්ලා අස්වූ විය. ඒ අනුව ධම්මික පෙරේරා සතුව පැවති කැසිනෝ ශාලා සියල්ලෙන්ද ඉල්ලා අස්වීමට ඔහුට සිදු විය. එම නිසා මේ වන විට එකි ව්‍යාපාර මෙහෙයවන්නේ ඔහුගේ සහෝදරයන් තිදෙනා විසින් බව කියවේ. එහෙත් ඉන් ගම්‍යවනුයේ ධම්මික පෙරේරා එකි ව්‍යාපාර මුළුමනින්ම අතහැර දමා ඇතිබව නොවේ. තිරය පිටුපස සිට ව්‍යාපාර මෙහෙයවන්නේ ඔහුය. එහෙයින් එකී කැසිනෝ ව්‍යාපාර ජාලයේ බදු ගෙවීම් නිසි ආකාරයෙන් සිදු නොවූ බවට නැගෙනා චෝදනාවලින් එක එල්ලේ ගැලවීමට ධම්මික පෙරේරාට හැකිවෙතැයි අපි නොසිතන්නෙමු.
ශ්‍රී ලංකාව පෙළෙම්න් සිටිනා උග්‍ර මූල්‍ය අර්බුදය හමුවේ රජයට අයවිය යුතු සියළු බදු මුදල් අය කර ගැනිම පිළිගත හැකි තත්ත්වයකි. එවන් තත්ත්වයක් හමුවේ වුව ධම්මික පෙරේරා සතු කැසිනෝ ව්‍යාපාර රජයේ බදු දැල උපක්රමශීලීව මග හරිමින් සිටි.