ජනමාධ්‍ය ඇමති නිසා මාධ්‍යවේදීන් බඩගින්නේ.

  • By editor
  • August 11, 2023
  • 0
  • 179 Views

ජනමාධ්‍ය සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් සිය මැතිවරණ බල ප්‍රදේශය හරහා ධාවනයට යොදවන ලද ”සීතාවක ඔඩිසි’’ දුම්රියේ මංගල ගමන් වාරය ආවරණය කරන ලෙස ආරාධනා කර ගෙන්වාගත් ජනමාධ්‍යවේදීන්ට එදින දිවා ආහාරයවත් සැපයීමට සංවිධායකයන් පියවර නොගැනීමත් සමග මාධ්‍යවේදීන්, අමාත්‍යවරයාට දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

අමාත්‍යවරයා සිය නිලධාරීන් හා හිතවතුන් වෙනුවෙන් සුඛෝපභෝගී සැලකුම් ලබාදී තිබුණත් මාධ්‍යවේදීන් පිළිබද කිසිදු තැකීමක් කර නොමැති බවද අනාවරණය වේ. ශනිදා සීතාවක ඔඩිසි මංගල ගමන් වාරය 5 වැනිදා පෙරවරුවේ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.

බස්නාහිර පළාතේ සංචාරක මණ්ඩලය සංවිධානය කර තිබුණු මෙම සංචාරය සඳහා විදෙස් තානාපතිවරු, සංචාරකයෝද, 30 කට ආසන්න ජනමාධ්‍යවේදීහු පිරිසක්ද, ඇතැම් සංවිධායකයන්ගේ පවුලේ සමාජිකයෝ සහ අමාත්‍යවරයාගේ පුද්ගලික හිතවතුන් පිරිසක් සහභාගී වී තිබේ.

කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් පැමිණි පිරිසට එතැන් සිට බස්රථ මගින් නැරඹුම් ස්ථාන වෙත යාමට පහසුකම් ලබාදී තිබුණි. බස් රථ පහසුකම් ලබාදී තිබුණේද එක් එක් අයට වෙනස් ආකාරයටය.

ඇමැතිවරයා ඇතුළු පිරිස ඔවුන්ගේ රථවලින්ද, විදෙස් තානාපතිවරුන් වෙනුවෙන් සුඛෝපභෝගී බස්‍ රථ ද සංචාරක මණ්ඩලයේ සමාජිකයන් සඳහා වායුසමනය කළ වී.අයි.පී. ලෙස සඳහන් කළ බස් රථ ද යොදවා තිබුණු අතර, ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් යොදවා තිබුණේ සාමාන්‍ය බස් රථය

කොළඹට ජලය සපයන ප්‍රධානම ජලාශයක්වන කලටුවාව ජලාශය සහ රන්මුදු ඇල්ල නැරඹීමට එහිදී අවස්ථාව ලබාදුන් අතර ඉන්පසු දිවා ආහාරය සඳහා සංචාරක නිකේතනයක් වෙත ජනමාධ්‍යවේදීන් සහ අමාත්‍යවරයාගේ හිතවතුන් පිරිසද රැගෙන ගොස් තිබුණි.

එම ස්ථානයේ ආහාර ඇනවුම් කර තිබුණේ පනහකට ආසන්න පිරිසකට වන අතර ඊට වඩා වැඩි පිරිසක් දිවා ආහාරය ලබාගැනීමේ අපේක්ෂාවෙන් එම ස්ථානයට පැමිණ තිබුණේය. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට ආහාර ලබාගැනීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැත.

ඇමැතිවරයා ඇතුළු පිරිසට ආහාර ලැබීමත්, ජනමාධ්‍යවේදීන්ට ආහාර ලබා නොදීමත් සමගින් මාධ්‍යවේදීන් අතර නොසන්සුන්තාවයක් ඇතිව තිබුණි. ඒ සමගින් ඇතැම් මාධ්‍යවේදීන් සංවිධායකයින්ට දෝශාරෝපනය කර තිබුණි.

කෙසේ වෙතත් පැයකට වඩා වැඩි කාලයක් මාධ්‍යවේදීන්ට දිවා ආහාරය ලබාගැනීමට නොහැකිව සිටි අතර පසුව වෙනත් ස්ථානයකින් ඔවුනට ආහාර ගෙනවිත් තිබුණි. හදිසියේ ගෙනවිත් තිබූ ආහාර ප්‍රමාණයක් මාධ්‍යවේදීන්ට ලබාදී තිබු අතර ඇතැම් මාධ්‍යවේදීහු එම ආහාර ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ සමගින් මාධ්‍යවේදීන් සිය ආවරණ කටයුත්තද නතර කර තිබුණේය.

මීට පෙර සීතාවක ඔඩිසි දුම්රිය ගමන් කළේ ඉරිදා දිනයන්හිදි පමණිග එහි සමාරම්භය සදහා මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැගෙන ගිය අතර ඔවුන්ටද දිවා ආහාරය සැපයීමට සංවිධායකයින් අපොහොසත්වීම නිසා ගැටලුකාරී තත්වයක් මතුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *