ජුනි 30 වෙනකොට පාතාලය, මත්ද්‍රව්‍ය ඉවර කරනවා – ටිරාන් අලස්

  • By editor
  • January 28, 2024
  • 0
  • 49 Views

ජුනි 30වන විට රට තුල මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වීමේ ඉලක්කය පොලිසිය වෙත ලබා දී තිබෙන බවත් කවුරුන් ඊට බාධා කලත් මෙම මෙහෙයුම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කරයි.

එසේම පරීක්ෂණ අවසානයේ කවුරුන් වැරදි කරු වුවත් කිසිඳු තරාතිරමකින් තොරව පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ වැඩමුළුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.

“මෙම අමාත්‍යංශය භාර ගන්නා අවස්ථාවේ රට තුල පැවති අර්බුදකාරී තත්වය මැඩ පැවැත්වීමේ අභියෝගය කෙටි කාලයක් තුල ජය ගැනීමට අපට හැකි වුණා.ඉන්පසු මගේ අරමුණ වූයේ රට මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධ වලින් නිදහස් කර ගැනීමත්, රටේ දරු පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීම. අප යුක්තිය මෙහෙයුම ආරම්භ කලේ එම අරමුණ වෙනුවෙන්. දීර්ඝ කාලයක් අප මේ පිලිබඳ අධ්‍යයනය කර අවශ්‍ය සැලසුම් සකස් කළා. ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ දකුණු පළාතෙන් මෙම මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.

ඉන්පසුව මේ වන විට රටේ මත්ද්‍රව්‍ය අලෙවි කළ සහ අපරාධකරුවන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්ව සිටිනවා. ඇතැමෙක් සැඟවී තිබෙනවා.ඒ අතරින් සමහරක් අප අතරම සිටින අය.ජුනි 30වන විට රට තුල මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වීමේ ඉලක්කය අප පොලිසිය වෙත ලබා දී තිබෙනවා. කවුරුන් ඊට බාධා කලත් මෙම මෙහෙයුම නතර කරන්නේ නැහැ. කිසිඳු බයකින් හෝ සැකයක් තොරව තම ප්‍රදේශවල තොරතුරු අප වෙත ලබා දෙන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරනවා. ජීවිතය පරදුවට තබා හෝ මේ උවදුර තුරන් කරන්නට එක්වන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අතරම මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පිළිබඳ අප ඉදිරිපත් කලා. සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන පීඩාවන් මැඩ පැවැත්වීම එහි මූලික අරමුණයි. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයේ මුදල් වංචා රැසක් වාර්තා වනවා. එය වැලක්වීමද එහි තවත් අරමුණක්. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ වැරදි අවබෝධයකින් අප විවේචනය කිරීමදක්නට ලැබෙනවා. මේ බොහෝ දෙනෙක් වෙනුවෙන් මුදල් වියදම් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්. එලෙස කවර අපහාස සිදු කලත් ආරම්භ කළ මෙහෙයුම අවසන් කර මිස අප නවතින්නේ නැහැ.

මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධව අප කළ ප්‍රකාශ සම්බන්ධව අගරදගුරුතුමා ද ඒ පිලිබඳ විවේචන සිදුකර තිබෙනවා. නමුත් මට අවශ්‍ය වන්නේ සියලු කතෝලිකයින්ට සාධාරණය ඉටු කිරීමයි.ඊට සහාය දෙන ලෙස අගරදගුරු හිමියන්ගෙන් සහ කතෝලික සභාවෙන් ද මා ඉල්ලීමක් සිදු කරනවා. අප සතුව නොමැති යම් තොරතුරක්‌ ඔවුන් සතුව තිබෙනවා නම් ඒවාද අප වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. එම පරීක්ෂණ අවසානයේ කවුරුන් වැරදි කරු වුවත් කිසිඳු තරාතිරමකින් තොරව උපරිම දඬුවම් ලබා දෙන බවට මා කිතුනු ප්‍රජාවට පොරොන්දු වෙනවා.

මේ ඉලක්කයන් ජයගෙන පවතිනවාට වඩා යහපත් රටක් බිහි කිරීමට අපට හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *