ස.ජ.බ පාලනය බැසිල්ගේ හිතවතුන් අතට.

  • By editor
  • January 28, 2024
  • 0
  • 68 Views

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියා වන ආර්. ප්‍රේමදාස 1987 ජනාධිපතිවරණය ජය ගැනීමෙන් අනතුරුව ජාතිය අමතමින් පැවසූවේ තමා බාරගත්තේ දෙකොන විලක්කුවක්  බඳු රටක් බවය. ඒ කථාව එක අතකින් හරිය. එදා උතුර සහ දකුණ යන අන්ත දෙකේම සන්නද්ධ අරගල දෙකක් ක්‍රියාත්මක වෙමින් පැවතුනි. එදා පියා කී කථාව අද සජිත් ප්‍රේමදාසටද යම් තරමකට අදාලය. වෙනස ඇත්තේ පියා ගිනිගත් රටක් බාර ගත් මුත් පුතාට සිදුව ඇත්තේ ගිනිගනිමින් තිබෙනා පක්ෂයක් සමග රටක් බාර ගන්නාට සටන් කිරීමය.

කවුරුත් දන්නා පරිදි වත්මන් විපක්ෂය වන සමගි ජන බලවේගය බිහිවනුයේ එක්සත් ජාතික පක්ෂ ගර්භාෂයේය. එහෙයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ සැණින් ස.ජ.බ ඉවර කර දමනු ඇතැයි ඇතැම්හූ බලාපොරොත්තුව පලකළහ . එහෙත් එය සිදු වූයේ නැත. ඊට හේතුව සජිත් ප්‍රේමදාස සිය පක්ෂය ආරක්ෂා කර ගැනීම නොව, සාපේක්ෂව දුර්වල නායකයෙක් විපක්ෂයේ නායකත්වය දැරිම තමාට වසිදායක බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කිරීමය. එහෙත් මේ වන විට සමගි ජන බලවේගය තුළ මෝදුවෙමින් පවතින අර්බුද විසඳා ගැනීම සජිත් ප්‍රේමදාස හිතනවාට වඩා අසීරු බව නම් කිවයුතුය.

සමගි ජන බලවේගය ආරම්භයේ සිටම එහි සාමාජිකයන් මුහුණ් දුන් ප්‍රශ්ණය වූයේ එහි දෙවෙනි නායකායා නැතහොත් සජිත් ජනාධිපති වූ දිනයක අගමැති වන්නේ කවුදැයි යන ගැටළුවල . එහිදී පිරිසක් විශ්වාස කළේ පාඨලී චම්පික රණවක එතැනට එනු ඇති බවය. තවත් කොටසකගේ අපේක්ෂාව වූයේ සරත් ෆොන්සේකා ඊට සුදුසු බවය. එහෙත් දෙවෙනි තැනට තමාට වඩා දක්ෂ සහ ජනප්‍රිය කෙනෙකු පත්වීම බොහෝ නායකයන් ඉවසන්නෙ නැත. සජිත් ප්‍රේමදාසද සිටියේ ඒ බෝට්ටුවේය. අරගලය පැවැති සමයේ සරත් ෆොන්සේකා ස.ජ.බ අත හැර තනි ගමනක් යන ලකුණු දැකගන්නට තිබුනි. ගාළු මුවදොරට ගිය සජිත්ට පහරදී එළවාගත් අරගලකරුවෝ සරත් ෆොන්සේකාට මිතුරු වෙසකින් සැළකීමත්, සජිත් පස්සට අදිද්දී සරත් ෆොන්සෙකා අගමැතිකමට ඉව ඇල්ලිමත් නිසා එකල සජිත් වාදීහු ෆොන්සේකාට දැඩි විරෝධයක් දැක්වුහ. අදටද එම තත්ත්වයේ වෙනසක් දක්නට නැත. මේ වන විට ෆොන්සේකාට සමගි ජන බලවේගයේ ඉන්නේ වෙනත් බෝඩිමක් හොයමින් සිටිනා බෝඩිං කරුවෙක් ලෙසිනි. පඨලී චම්පිකද එක්සත් ජනරජ පෙරමුණ පිහිටවා ගැනීමෙන් පසු වෙනමම ගමනකය. එහෙයින් දැන් සජිත්ට දෙවෙනියෙකුගේ ප්‍රශ්ණයක් නැතැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් සැබෑම ප්‍රශ්නය මතුව ඇත්තෙ දැන් බව ස.ජ.බ ආරංචි මාර්ග පවසයි.

ස.ජ.බ වත්මන් අර්බුදය ඇරබෙනුයේ මහාචාර්ය ජී.ඇල්. පීරිස් සහ ඩිලාන් පෙරෙරා යන දෙදෙනා ස.ජ.බ සාමාජිකත්ව‍ය ලබාගැනීමත් සමගය. රාජපක්ෂවරුන්ගේ දේශපාලන උමනාවන් වෙනුවෙන් වාර්ගික මට්ටමින් අටවාගත් පොදුජන පෙරෙමුණේ සභාපතිවරයාව සිටි  මහාචාර්ය ජී.ඇල්. පීරිස් පොහොට්ටු නැවෙන් මුලින්ම පැනගත් මීයෙක් බව දේශපාලනය දන්නා කාට හෝ රහසක් නොවේ.  පොහොට්ටුව හැර ගිය ඔහු සහ ඩලස් ඩලස්ට හොරා විපක්ෂ නායක කාර්යාලයට නිතර පැමිණියේය .  අවසානයේ ඔහු එහිම බින්න බැස්සේය. දේශපාලන වශයෙ අනාත වෙමින් සිටිනා ඩලස් ද ජී ඇල්. පීරිස්ගේ පිටේ නැගී ස.ජ.බ ට සංක්‍රමණය වන්නට බලා සිටියද සිදුවූයේ ජී.ඇල් තනිවම ස.ජ.බ ට යාමය . කෙසේ වෙතත් ජී.ඇල්. පසුපස ආ ඩිලාන් කෙසේ හෝ ස.ජ.බට රිංගා ගෙන චමින්ද විජේසිරිද එළවා දැම්මේය . 

ඩලස්ද සිය හිතවතුන් අතේ  සජිත් වෙත පණිවිඩ එවූවද සජිත් ඒවාට ප්‍රතිචාර දක්වා නැතිබව වාර්තා වේ. සජිත්ගේ මෙම ප්‍රතිපත්තිය ඩලස් ගේ කනස්සල්ලට හේතුවි ඇත. අනුප්‍රාප්තික ජනාධිපතිවරණයට ඉදිරිපත්වූයේනම් ඉන් නියතලෙස පරදින බව දත් සජිත් ප්‍රේමදාස තමා බිල්ලට දී පරාජයේ අවමානයෙන් ගැලවුන බව ඩලස් තම හිතවතුන් සමග පවසා ඇත. සජිත්ගේ නිහඬ බවට ප්‍රධන හේතුව පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට තරග කළ ඩලස් ස.ජ.බ ට සම්බන්ධ වුවහොත් ඔහු අගමැති අපේක්ෂකත්වය ඉල්ලා සිටිනු ඇති බවට ස.ජ.බ ජ්‍යෙෂ්ටයන් කළ කරුණු දැක්වීමය . සජිත් ජනාධිපති වුවහොත් අගමැති අපෙක්ෂකත්වය ලබාගැනීමට බලාසිටින ස.ජ.බ ජ්‍යේෂ්ටයන් කිහිපදෙනාගෙන් වත්මන් මහාලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද කෙනෙකි. සජිත් ද ඔහු සම්බන්ධව එතරම් විරෝධ‍යක් දක්වා නැතත් ජී. ඇල්. පීරිස්ගේ සම්ප්‍රාම්තිය සමග රංජිත් මද්දුමබණ්ඩාරද කලබල වී අති සෙයකි. ඊට හේතුව ජී. ඇල් සජිත්ට උපදෙස් දෙමින් නිතර ඔහු සමීපයේ ගැවසීමය. 

මහාචාර්ය ජී.ඇල්. පීරිස් සමග ඔහුගේ හිතවතෙක් වන ටී.වී. වන් නාලිකාවේ හිටපු නාලිකා ප්‍රධානී බුද්ධික වික්‍රමාදරද ස.ජ.බ ට සම්බන්ධව ඇත. ජනාධිපතිවරණය ඉලක්ක කර සිදු කරනා සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක ඔහුට බාරදී ඇත. එම කටයුතු සඳහා ලක්ෂ්මන් ෆොන්සේකාද සම්බන්ධවීම නිසා ස.ජ.බ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ බරපතල විරෝධයක් මතුව ඇත. විශේෂයෙන්ම ලක්ෂ්මන් ෆොන්සේකා සහ බුද්ධික වික්‍රමාදර දෙදෙනාම බැසිල් රාජපක්ෂ්වගේ හිතවතුන් වීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇත. සජබ අගමැති අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටිනා ලක්ෂ්මන් කිරිඇල්ලද මේ දිනවල පසුවන්නේ හිත හොඳින් නොවේ. ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහට කේලම් කියනා බවට පක්ෂය තුළ ඇති මතය නිසා සජිත් ඔහු මග හරිමින් සිනා බව දැනගන්නට තිබේ. ස.ජ.බ දූෂණ විරෝධී බලවේගයේ උප සභාපතිකම වෛද්‍ය චමල් සංජිවට ලබාදීම පිළිබඳ නිරෝෂන් පාදුක්ක ඇතුළු කිහිප දෙනෙක් කළකිරීමට පත්ව ඇත. චමල් සංජිවගේ අරමුණ අනාගත රජයක සෞඛ්‍ය ඇමති වීම මිස දූෂණ වැලකීම නොවනා බව ඔවුන්ගේ අදහසය . 

මෑතකදී ස.ජ.බ තුළ සිදුවූ බරපතලම පිපිරීම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයගේ ඉල්ලා අස්වීමය. සජිත්ට හිතවත් පාර්ශව කුමනාකාරයෙන් හැඳින්වූවද එය බරපතල දේශපාලන නාය යාමකි. දිගුකාලීනව ඔහු කළකිරිමෙන් පසුවූ බව පක්ෂයේ බොහෝ දෙනෙක් පවසති. 

බදුල්ලේ ඩිලාන් පෙරේරා පක්ෂයට එක් කර ගැනීම ඔහුගේ තීරණය කඩිනම් කළ මුත් එය එකම හේතුව නොවේ. සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තුව අමතමින් ඔහු ස.ජ.බ තමාට වෙනස් කමක් නොකළ බව කීවද ඊට පසු පැවති මාධ්‍ය හමුවකදි පවසා සිටියේ වෙනත් කථාවකි. ඒ තමාට ජාතික වගකීමක් පවරන්නේනම් යළිත් පක්ෂය හා එක්වන බවය. ඉන් සනාතවන්නේ ඔහුට පක්ෂය තුළ කිසිම වගකිමක් ලබාදී නොතිබූ බවය. චමින්ද විජෙසිරි වෙනුවට පාර්ලිමේන්තුවට එන නයන වාසලතිලක සජිත්ගේ බිරිඳගේ පාර්ශයේ සබඳ කමක් සහිත අයෙක් බවත්, සජිත්ගේ සක්වල, හුස්ම වැනි වැඩසටහන්වල ප්‍රධාන අරමුදල් සම්පාදනය කරන්නා ඔහු වන බවත් පැවසේ. ඒ අනුව ඉදිරියේදී ස.ජ.බ තුළ සජිත්ගේ කෙසේ වෙතත් ජලනිගේ බලය වැඩිවෙනු ඇතිබව එහි සමාජිකයෝ පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *