ටිරාන් අලස් යුක්තිය මෙහෙයුම ගැන බොරු ප්‍රචාරය කරනවා – වැලිගම හොටෙල් ලොක්කෙකුගෙන් ඇමති හරීන්ට ලිපියක්

  • By editor
  • February 7, 2024
  • 0
  • 70 Views

පසුගිය දා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැලිගම ප්‍රධාන පෙළේ හෝටලයක හිමිකරු විසින් අප්‍රසාදය පළකර ඇත.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත සහ ශ්‍රී ලංකා හොටෙල් සංමගයේ සභාපති වෙත ලිපියක් යොමුකරමින් Lanka Realty Investments PLC නමැති මෙම සමාගම විසින් සදහන් කරන්නේ අමාත්‍යවරයා අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරමින් තමන්ගේ සහ හෝටලයේ කීර්ති නාමයට අපහාසයක් එක්කළ බවය.

පසුගිය දා යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිරාන් අලස් අමාත්‍යවරයා අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ‘W 15 වැලිගම’හෝටල් පරිශ්‍රයේ සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට සදහන් කළ බව ද ඔවුන් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

එසේම මෙම හෝටලය සමඟ හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සම්බන්ධ බව සඳහන් කරමින් ටිරාන් අලස් මහතා විසින් එල්ල කර ඇති චෝදනා සියල්ලම පදනම් විරහිත බව ද එම හිමිකාරීත්වය විසින් දන්වා ඇත.

වැලිගම වෙරළ පොදු ස්ථානයක් බැවින් එහි සිදුවන සිදුවීම් ඔවුන්ගේ හෝටලයේ පාලනයෙන් තොර බව පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් තමා සතු බලතල භාවිත කරමින් මෙලෙස අසත්‍ය සහ තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම කණගාටුවට කරුණක් බවය.

එමෙන්ම, Lanka Realty Investments PLC හි කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ටිරාන් අලස් මහතා අතර ඇති වූ හමුවකදී “මෙම හෝටලය බේරා දෙන්න යයි” වැලිගම W 15 හෝටලයේ හිමිකාරීත්වය විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවට ටිරාන් අලස් මහතා නිකුත් කර ඇති ප්‍රකාශයද අසත්‍ය බව ද එම ලිපියෙන් දන්වා ඇත.

ඔහු ටිරාන් අලස් මහතා හමු වූයේ පොලිස් නිලධාරියෙකුට පවා මියයෑමට සිදුවූ වැලිගම වෙඩි තැබීමේ සිදුවීමේදී, දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකර අපරාධ විමර්ශන කොට්ඨාශය එලෙස ක්‍රියා කළේ ඇයිද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් බව ද එම ලිපියෙන් පැහැදිලි කර තිබේ.

කෙසේවෙතත්, එසේ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් තම සමාගමේ කීර්ති නාමයට සිදු වන හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවද Lanka Realty Investments PLC සමාගම අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *