යුද්ධයේදී මුලින්ම මිය යන්නේ සත්‍යය බව යුද බිමේ අත්දැකීම් ඇති ඕනෑම අයෙක් දන්නා කාරණාවකි.. සංග්‍රාම භුමියේ අත්දැකීම් ඇති ලියුම්කරුගේ කල්පනාවේ හැටියට තිස් වසක් පුරා පැවැති ඊළාම් යුද්ධයේදී මිය ගිය එක් සත්‍යයක් වන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන් ඝාතනය කිරීමට අණ දුන් සේනාංකාධිපතිවරයා පිළිබඳ කතන්දරයය.
යුද්ධය අවසන් වී දාහතර වසරක් ගතවුණිද එය තවමත් ඇත්තේ විකෘති වී ගිය කතාවක් ලෙසය.
එයත් හරියට ලංකාවේ පස්වැනි අගමැති පත් වු ආකාරය ගැන ඇති කතාව සේය. දේශපාලනයේ මුල් බැසගිය කතාව වන්නේ අගමැති එස් .ඩබ්ලිව් .ආර්.ඩී.බණ්ඩාරනායක 1959.09.26.දා ඝාතනය වු පසු අධ්‍යපන ඇමැති ඩබ්ලිව් .දහනායක අගමැති වූ බවය.එනමුත් එවකට අගමැති ලේකමි ව සිට් බ්‍රැඩ්මන් වීරකෝන් ලිූයූ “අරලිය ගහ මැදුරේ ස්පන්දනය” කෘතියේ සඳහන් වන්නේ අගමැතිවරයා විදේශ ගතවීමට සිටි නිසා වැඩබලන අගමැති ලෙස දහනායක පත් කරන ලිපියට බණ්ඩාරනායක අගමැතිවරයා අත්සන් කළ බවත් එම ලිපිය හැදුවේ තමා බවය. බ්‍රැඩ්මන් වීරකෝන් පොතක් ලියා ඉතිහාසය නිවැරැදි කරද්දී ප්‍රභාකරන්ගේ මරණයේ සත්‍ය කතාව විකෘති කෙරුණේද පොතකිනි . එහෙත් යුද ඉතිහාසය විකෘති කළැයි කියා. එහි රචකයාට නම් පාඩුවක් නොවීය. කෝට් ගණනක් ඔහුට ලැබුණි .
ප්‍රභාකරන්ගේ මරණයේ සැබෑ කතාව විකෘති කළ මේ කෘතිය හමුදා නිලධාරීන් හදුන්වන්වේ “මං පොර ජාතකය” ලෙසය. පොතේ හරි නම “රණමඟ ඔස්සේ නන්දිකඩාල් “ය. එහි රචකයා විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නය. මේ පොත බේදාහරිණු ලැබුවේ විජිත යාපා ප්‍රකාශකයෝය. එහි හිමිකරු වන කීර්තිමත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් පත් කලාවේදී විජිත යාපා, පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ලංකාදීප පුවත්පතේ ගිය අතිරේයකට වසර කිපයකට පෙර පවසා තිබුණේ එ දවස “රණමඟ ඔස්සේ නන්දිකඩාල් ” කෘතියේ පිටපත් 950000ක් අලෙවි වු බවය. මුලින් 1500ට තිබු එම කෘතිය දෙවැනි ම්‍රදාණයේදී 1750 විය. ඒ ගාණ අතහැර 1500 ය 950000න් වැඩිකළහොත් මුදල දාහතර කෝට් විසිපන් ලක්ෂයකි.
ප්‍රශ්නය වන්නේ පොතෙන් කමල් ගුණරත්න ගත් ලාභය නොවේ. එහි ඇති විකෘති කරන ලද ඉතිහාසයය.
ජයග්‍රහණයට පියවරු රැසක් සිටියද පරාජය අවජාතක වන්නා සේ කමල් ගුණරත්න” රණමඟ ඔස්සේ නන්දිකඩාල් “කෘතියෙන් ජයග්‍රහණය එනම් ප්‍රභාකරන්ගේ මරණය තම ගොඩට දා ගෙන තිබෙි. ඒත් මුහමලේ අවජාතක පරාජය භාර ගන්නට ඔහු ඉදිරිපත්වෙන්නේ නැත. ඒ කතාව ගැන කියන්නට පෙර මුහමලේ යුද පෙරමුණට යා යුතුය. ඒ දවස කමල් ගුණරත්න 53 සේනාංකය යටතේ තිබූ ගුවන් සංක්‍රමික බළසේනාධිපති විය. එ දවස 53 වැනි සේනාංකාධිපති වුයේ බ්‍රිගේඩියර් සමන්ත සුරියබණ්ඩාරය. කොමාන්ඩෝ රෙජිමේන්තුව අයත් නිලධාරියකු වු ඔහුට අත් වුයේ ඛේදජනක මරණයකි. සරත් ෆොන්සේකා හිතවාදියෙකු ලෙස හංවඩු ගසා හමුදාවෙන් එලවු ඔහු අකාලයේ මිය ගියවිට දේහයට නිල ඇදුම් අන්දන්නට ගෝඨාභය රාජපක්ෂ පාලනය ඉඩදුන්නේ නැත.
මුහමලේදි එල්.ටී.ටී.ඊ. ප්‍රහාර හමුවේ ගුවන් සංක්‍රමික බළසේනාවට බලවත් හානී වී තිබුණි. සෙබළුන් සිය ගණන් මුහමලේදී මිය යද්දී පරාජය අවජාතක වන්නට ඉඩ නොදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙහෙයුමේ වගකීම තෙමේම භාර ගත්තේය.
එදවස 55 සේනාංකය තිබුණේ මුහමලේය. ජාතික පෙරමුණ නමින් හැඳින්වු කිලාලි සිට මුහමලේ හරහා නගර්කෝවිල් දක්වා විහදුණු ඉදිරි ආරක්ෂක වළල්ල භාර වුයේ මෙම සේනාංකයටය. “රණමඟ ඔස්සේ නන්දිකඩාල් “කෘතියේ දැක්වෙන පරිදි යුද හමුදාපතිවරයා 55 සේනාංකාධිපති මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න සිටියදී සටන් පෙරමුණ මෙහෙයවීමට පැවරන්නේ කමල් ගුණරත්නටය. එදවස සනත් කරුණාරත්න හා සරත් ෆොන්සේකා අතර විරසකයක් තිබුණු බව නොරහසකි. දෙදෙනාම සිංහ රෙජිමේන්තුවේය.
ඒ කතා කෙසේවෙතත් කමල් ගුණරත්න සිය කෘතියේ සඳහන් කරන්නේ සිය හමුදා දිවියේ දුටු විශිෂ්ටතම මහත්මා නිලධාරියා සනත් කරුණාරත්න බවත් තමාට ඔහු කී කතාව අදහාගත නොහැකි බවත්ය. ඊට හේතු ලෙස ඔහු සඳහන් කරන්නේ හමුදාපතිවරය, සටනට අණ දීම තමාට බාර දුන් පසු සනත් කරුණාරත්න දැක් වූ ප්‍රතිචාරයය.”කමල් ඔබ වැඩේ කරගෙන යන්න. ඔබට ඕනෑම සහයන් දීමට මා ඉන්නවා. ඒ වගේම සටන පැරැදුණොත් එහි වගකීම මා භාර ගන්නවා “. සනත් කරුණාරත්න එසේ කි බව කමල් ගුණරත්න සිය කෘතියේ සඳහන් කර ඇත. මුහමාලේ ජයග්‍රහණ තමාට ලියාගන්නට උත්සහ නොගත්තද “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” කෘතියේ මුහමලේ යුද පෙරමුණ ගැන ඇති කතා අතිශයෝක්තියට නැගු එවා බව සනත් කරැණාරත්න පැවසූ සදහන්ය .
මුහමාලේ 55 සේනාංකාධිපති ධුරයෙන් පසු කමල් ගුණරත්න 53 වැනි සේනාංකාධිපති විය. මුහමාලේදී එම සේනාංකයට නිරන්තරයෙන් එල්.ටී.ටී.ඊ.යේ දැඩි ප්‍රතිරෝධයට මුහුණ දීමට සිදු විය. ඒ තත්ත්වය පහව ගියේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් අණ දුන් 57 සේනාංකයත් බ්‍රිගේඩියර් ශවින්දා සිල්වා අණ දුන් 58 වැනි සේනාංකයත් යාපනය අර්ධද්වීපයට දකුණෙන් පැමිණ ඒ 9 පාර අල්ලා ගැනීමෙන් පසුවය. ඒතැන් සිට කමල් ගුණරත්න අණ දුන් 53 වැනි සේනාංකයේ හා බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා අණ දුන් 55 සේනාංකයේ ගමන සුමට විය.
කෙසේනමුදු කමල් ගුණරත්න ගේ “රණමඟ ඔස්සේ නන්දිකඩාල් “කෘතියේ පසුපිටේ සදහන් වන්නේ ප්‍රභාකරන් මරා දැමුවේ ඔහුගේ සේනාංකය බවය. එමතු නොව එම කෘතියේ අවසානය වෙන් කර ඇත්තේ 53 සේනාංකය ප්‍රභාකරන් මරා දමන්නට කමල් ගුණරත්න අණ දුන් ආකාරය ගැන ලියන්නටය.
සැබැන්ම ප්‍රභාකරන් මරා දැමුවේ කමල් ගුණරත්න කියන විදියට 53 වැනි සේනාංකයද. ඊට දියහැකි කෙටිම පිළිතුර වන්නේ “නැත “යනුවෙනි. අවසාන සටන පැවැති අවස්ථාවේදී යුද හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ වුවේ බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චිය. යුද හමුදාවේ මෙහෙයුම් හා සේනාංක, මෙහෙයවන ආකාරය. භට පිරිස් යොමු කිරීම ,ආයුද ඇතුළු සියලු තොරතුරු ඇත්තේ යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ය. එහි ඇති තොරතුරු වලට අනුව වන්නි සටන සඳහා යුද හමුදා මුලස්ථානය අවසානයට සකස් කළ ප්‍රහාරාත්මක සේනාංකය වුයේ 8 වැනි කාර්ය සාධක බළකායය. එය නිල වශයෙන් සේනාංකයක් ලෙස නොහැඳින්වෙන්නේ හුදෙක් පිරිස් පරිපාලන ප්‍රශ්නයක් නිසා පමණි . උදාහරණයක් ලෙස සේනාංකයට අඩුම තරමින් බළසේනා තුනක්වත් තිබේන අතර 8 වැනි කාර්ය සාධක බළකායට තිබුණේ බළසේනා දෙකක් පමණි .
8 වැනි කාර්ට සාධක බළකායේ අණදෙන නිලධාරියා ලෙස හමුදාපති ගේ තේරීම වුයේ වන්නි සටනේ අත්දැකීම් බහුලම බළසේනාධිපති වු කර්නල් ජී.වී.රවිප්‍රියය.වන්නි සටන 2007.3.01.දා වවුනියාව කල්මඩු ගමෙන් ආරම්භක කළ 571 වැනි බළසේනාවට අණ දුන්නේ එකල ලුතිනන් කර්නල් වරයකු වු ඔහුය. මෙම බළසේනාව අයත් වුයේ 57 සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුමිත් මානවඩුටය. දුර්වල අණදීම හේතුවෙන් යුද හමුදාපති ඔහු ධුරයෙන් ඉවත් කෙරුණි . නව සේනාංකාධිපති වුවේ බ්‍රිගේඩියර් ජගත් ඩයස්ය.
තමා ඉවත් කිරීම නිසා සුමිත් මානවඩු සරත් ෆොන්සේකා සමග වෛර බැඳත්තේය. ඒ වෛරයෙන් ප්‍රයෝජන ගත්තේ රාජපක්ෂවරුය. ජනපතිවරණයෙන් පැරැදුණු ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට වෛරයෙන් පැසවමින් සිටි මානවඩු යැවිණි. ෆොන්සේකා විරෝධය දැක්වූ විට මානවඩු ඔහුගේ හිසට පා පහරක් එල්ල කළේය. දෛවයේ සරදමකට මෙන් විශ්‍රාම යාමට තෙමසක් තිබියදී මේජර් ජෙනරාල් මානවඩු අකාලයේ මැරුනේ අහක යන පරාලයක් හිසේ වැදීය. සැබැවින්ම සුමිත් මානවඩු ෆොන්සේකාට පයින් නොගැහුවා නම් ඔහුට හමුදාපති වන්නටද තිබුණි . මෛත්‍රීපාල සිරිසේන යුගයේදී ඔහු කැපුණේ යුද්ධය අවසන් කළ යුද හමුදාපතිව රාජපක්ෂලාගේ ඕනැ එපාකම් මත අත්අඩංගුවට ගත් නිසාය. ඊට ෆොන්සේකා කිසිඳු දිනක සමාව දුන්නේ නැත.
ඒ යුද බිමේ කවදාවත් එළියට නොආ අතුරු කතාවකි. සුමිත් මානවඩු සේම විජිත රවිප්‍රියත් කාලතුවක්කු රෙජිමේන්තුවේය. යුද හමුදාපතිවරයා 8 වැනි කාර්ය සාධක බළකාය 53 වැනි සේනාංකාධිපති වරයාගේ අධීක්ෂණයට යටත් කර තිබුණේ වැඩි හොදටය. ඒ වනවිටත් මේජර් ජෙනරාල් ජගත් ඩයස් සිය පැවරුම විශිෂ්ට ලෙස නිම කර තිබුණේය එබැවින් යුද බිමේ සිටි ජේෂ්ටයන් දෙදෙනා වු ජගත් ඩයස් මෙන්ම කමල් ගුණරත්නට අනෙකුත් සේනාංකවලට සහය දැක්වීමට නියෝග කළේ වැඩි හොඳටය. ඒත් මහත්මයකු වූ ජගත් ඩයස් මාධ්‍ය ප්‍රචාරයට අකැමැති වීම නිසා කරළියට ආවේ නැත. කර්නල් විජිත රවිප්‍රිය ද අනුගමනය කළේ ජගත් ඩයස්ගේ පිළිවෙතය. ඔහු සිය ජායාරුප ගැනීමට හෝ වීඩියෝ කිරීමට මාධ්‍යට ඉඩ දුන්නේ නැත. ඔහු යටතේ 681වැනි බළසේනාවට අණ දුන්නේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේය. ඔහු කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ය. 682 බළසේනාධිපති වුයේ ලුතිනන් කර්නල් සුභාෂණ වැලිකලය.ඔහු සිංහ රෙජිමේන්තුවේය.
මේ අතරින් ප්‍රභාකරන් නැසිමේ මෙහෙයුම පැවරුණේ ලලන්ත ගමගේගේ බළසේනාව යටතේ ඇති 4 වැනි විජයබා පාබළ රෙජිමේන්තුවටය. එහි අණදෙන නිලධාරියා වුයේ මේජර් රෝහිත අඵවිහාරේය. මෙකල මේජර් ජෙනරාල් නිලය හොබවන ඔහු යුද හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල්ය.
විජයබා සෙබළු ප්‍රභාකරන්ගේ සිරුර සොයා ගත් මොහොතේ සටන් බිමේ සිටි සේනාංකාධිපතිවරුන්ට ඔහුගේ සිරුර නැරඹීමට ආරාධනා කෙරුණි. 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රභාකරන්ගේ සිරුරට පයින් ගැසු බව පැවසේ . ඒ මොහොතේ මුලතිව් බිමේ හුන් වෘත්තීය සොල්දාදුවා වුයේ බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාය. ප්‍රභාකරන්ගේ සිරුර නැරඹීම ඔහු ප්‍රතික්ෂේප කළේ මෙසේ කියමිනි. “අපි වන්ස්ටාර්,ටූස්ටාර් ජෙනරාල්ලා.අපි මොකටද ත්‍රස්තවාදී නායකයකුගේ දෙපා මුලට යන්නේ.”.විශේෂ බළකායට අයත් නිලධාරියකු වු ඔහු, යුදහමුදාපතිවරයා තාමාට දුන් පැවරුම නිමා කළ පසු ඒ ගැන යළිත් කතා නොකළේය. මහත්මයකු ලෙස තිරයෙන් මැකී ගියේය. “මැණිකේ මගේ හිතේ” ගීයෙන් ලෝ ප්‍රකට ගායිකාවක වු යොහානි ද සිල්වා තම දියණිය වුවත් ඔහු ඒ ගැනද නොකියා සිටින්නට තරම් නිහතමානී විය. ප්‍රසන්න සිල්වා මෙන් ප්‍රසිද්ධියට අකමැති වීම නිසා,හමුදාපති දුන් පැවරුම නිමා කර කරළියෙන් බැස ගිය අනෙක් නිලධාරියා වුයේ 2009.06.19. ප්‍රභාකරන් නසන්නට භටයන් මෙහෙයවු කර්නල් විජිත රවිප්‍රියය.
ප්‍රභාකරන් ගේ අවසානය ළඟා කළේ 8 වැනි කාර්ය සාධක බළකාය බවට පැහැදිලි සාක්ෂි දෙකක් තිබේ එකක් ප්‍රභාකරන්ගේ මරණය නිල වශයෙන් යුද හමුදා මුලස්ථානයට යවන ලද පණිවිඩයය. එය අත්සන් කළේ විජිත රවිප්‍රිය යටතේ තිබූ 681 බළසේනාවේ මේජර් නලීන් හේරත්ය. ගෝඨාභය රාජපක්ෂවාදියකු වන සී.ඒ.චන්දාපෙු්ම ලියූ “ගෝඨාභයගේ යුද්ධය” කෘතිය ලිවීමට ඔහුට නොඅඩුවම හමුදාවේ හා රාජ්‍ය අනුග්‍රහය ලැබුණි. කෘතියට අවශ්‍ය තොරතුරු ගෑනීමට ඔහුට හමුදාවේ ඕනෑම මුලාශ්‍රයක් භාවිතා කිරීමට අවස්ථාව ද තිබුණි. ඒ හැරැත් ඔහු ප්‍රවීණ මාධ්‍යවේදීයකි. ඔහු ගේ කෘතියේ සටහන් කරන්නේද ප්‍රභාකරන් මරුවේ 8 වැනි කාර්ය සාධක බළකාය බවය “ගෝඨාභයගේ යුද්ධය” කෘතියේ.522 වැනි .පිටුවේ ප්‍රභාකරන්ගේ අවසානය ගැන මෙසේ සඳහන්ය.
“ආයුද විස්සක් තිහක් පත්තුවන ශබ්දය ඇසෙන බව කර්නල් රවිප්‍රියට දැන ගන්නට ලැබුණි .ඔහු කඩොලාන තීරුව තුළට සියොට් කණ්ඩායම් දෙකක් යැවු අතර ත්‍රස්තවාදීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එම කඩොලාන තුළ සටන්කරුවන් තිහක් සමග ප්‍රභාකරන් සිටින බව දැන ගන්නට ලැබුණි .සෙබළු නොනවත්වාම වෙඩි තැබූහ.” සි.ඒ.චන්දාප්‍රේමට පුභාකරන්ගේ මරණය වූු ආකරය ගැන ඇත්ත සැඟවීමට අවශ්‍යතාවක් නැතිබව අපට උපකල්පනය කළ හැක්කේ එසේ කළාට ඔහුට ලැබෙන ලාභයක් හෝ කීර්තියක් නැති නිසාය. මෙහිදි ප්‍රභාකරන් මරා දැමු 4 වැනි විජයබා පාබළ රෙජිමේන්තුවේ ලුතිනන් ජී.එච්.ඩී.නාලකගේ ප්‍රධානත්වයෙන් යුතු සියොට් කණ්ඩායමේ පුහුණුව ගැනද සඳහන් කළ යුතුය. පාබළ භටයන්ට විශේෂ පුහුණුවක් දීම එ දවස යාපනය ආඥපති වු සරත් ෆොන්සේකා ගේ සංකල්පයකි. සටන් විරාමයෙන් පසු යුද්ධය එන බව දැන සිටි ඔහු , විශිෂ්ට පාබළ පුහුණුකරුවන් දෙදෙනෙකු වු කර්නල් චාගී ගාල්ලගේ හා කර්නල් රැල්ෆ් නුගේරා ලවා විශේෂ පාබළ සටන්කරුවන්ගේ පුහුණු පාඨමාලාව ඇරැඹිය. එම පුහුණුව අවසන් කළ සෙබළුන්ට SIOT (සියොට්) යනුවෙන් සඳහන් ලංඡනය පැළැඳවීය. සරත් ෆොන්සේකා මේ පුහුණුව ආරම්භ කළේ දෙදහස් දෙකේදී පමණය. එසේ බලන විට යුද්ධයට සැලැසුම් හැදුවේ ගෝඨාභය ද ෆොන්සේකා ද කියා පැහැදිලිය.
කෙසේනමුදු මේ සියලු කරුණු වලින් පැහැදිලි වන්නේ ප්‍රභාකරන් මැරුවේ 53 සේනාංකය නොව 8 වැනි කාර්ය සාධක බළකාය බවය. එනමුත් එය 53 වැනි සේනාංකායේ ගිණුමට බැර කර ගැනීමට කමල් ගුණරත්නට ඇති තුරුප්පුව වුයේ පරිපාලන කටයුතු සඳහා 8 කාර්ය සාධක බළකාය ඔහුට අධීක්ෂණය කිරීමට ඉඩ දීමය. තම හමුදා දිවියේ දුටු හොඳම මහත්මයා මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න බවට ලියු කමල් ගුණරත්නටත් දැන් මහත්මයකු වීමට කදිම අවස්ථාවක් උදා වී තිබේ . ඒ මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියට ඉතිහාසයේ හිමි තැන උදුරාගනමින් පොතක් ලිවීම අමතක කර ඔහුට හිමි තැන දීමය. මක් නිසාදයත් ඔහු ගෞරවය,ප්‍රසිද්ධය හෝ කීර්තිය පසුපස හඹා නොගිය මහත්මයකු බැවිණි .
ඔහුගේ මහත්මා ගතිය දෙදහස් පහළොවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරැදුණු විටද එළියට ආවේය. පරැදුණු මහින්දට ආරක්ෂාව දීමට අණ දෙන්නෙක් නොවීය. ජනපති ආරක්ෂකයෝ හෙමින් පැත්ත මාරු කරමින් සිටියහ.ජනපතිගේ ආරක්ෂාව භාර ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති .එස්,එම් වික්‍රමසිංහ . හිසේ අමාරුවක් කියමින් මහින්ද සමග මැදමුලනට යාම මග හැරියේය. එසේ මගහැරි ඔහු යළිත් මතු වුයේ නව ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව භාර ප්‍රධානියා ලෙසය. එස්.එම්. වික්‍රමසිංහත් පොළොන්නරුවේය. ඒ මොහොතේ ජනපති ආරක්ෂක බළසේනාවට අණ දුන් බ්‍රිගේඩියර් රවිප්‍රියට මැද මුලනට නොයැන්නැයි හමුදා නිලධාරිහු අනතුරු හැඟවුහ. එසේ ගොස් නව අණ්ඩුව යටතේ හමුදාවේ තම අනාගතය විනාශ නොකරගන්නා ලෙස රතු එළි දැල්වුහ. එහෙත් ඔහු ඒ මොහොතේ කළේ 2009 කළ දෙයමය. ලාභ වුවත් පාඩු වුවත් යුද හමුදාපති දුන් පැවරුම නිමා කළ යුතුය. ඔහු පිස්තෝලය ගත්තේය. මහින්ද රාජපක්ෂ සමග හෙලිකොප්ටර්යට නැගි මැදමුලනට ගියේය. ඉක්බිතිව මැදමුලනෙන් එන්නට පෙර ඔහු හිටපු ජනපතිට ආචාර කළේය තමාට ආරක්ෂාව දීම ගැන හිටපු ජනපතිවරයා පෙරළා ඔහුට ස්තුතිය දැක්විය.
එසේ බලන විට ඔහු නියම සෙබළෙකි.එනමුත් .ගෝඨාභය රාජපක්ෂ රැක ගැනීමට ගෝඨාභය පණ වුවත් දෙන්නම් කියමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට නොහැකි විය. ඔහු “ගෝඨාභය ” කියා චරිත කතාවක් ද ලීවේය. වියත් මගෙන් කඩේ ගියේය. ඒ සියල්ල කර ඇත්තේ ආරක්ෂක ලේකම් පදවිය දක්වා ඒමට පමණක් බව පෙනේ. ඕනෑම ජනපතිවරයකු වෙනස් වනවිට ආරක්ෂක ලේකම් ද මාරුවුවද කමල් ගුණරත්න දිගමට පදවියේ සිටිම පිටුපස ඇති රහස පැහැදිලිය. එසේ බලන විට වීරයා කවුද කාඩ්බෝඩ් වීරයා කවුද යන්න තිරණය කිරීම පාඨකයාට බාරය.
සත්‍යය ගැන ඇමරිකානු ශ්‍රේෂ්ඨ ජනපති ඒබ්‍රහම් ලින්කන් වරක මෙසේ කිය. ඔබට ටික දෙනෙකුගේ සත්‍යය ටික කලකට සඟවා ගෙන සිටිය හැකිය. ඒත් හැමදාමත් සියලු දෙනා රවටමින් සත්‍යය හැමදාම සඟවාගෙන සිටිය නොහැකිය “කවුරු කෙසේ කීවද සත්‍යය වෙනස් කළ නොහැක “ඒ ලෝ ප්‍රකට “එක්ස් ෆයිල්” රහස් පරීක්ෂක කතා මාලාවේ තේමාවය. එසේ නම් තිස් වසක් පුරා පැවැති යුද්ධයේ උච්චාස්ථානය වන අවසන් සටනේ සත්‍යය යනු කුමක්ද. “රණමග ඔස්සේ නන්දිකඩාල් ” පොතේ අවසානයට කමල් ගුණරත්න විජිත රවිප්‍රිය හංගා නොකී කතාව වු කලී සත්‍යයයි.