පිරමීඩ් වංචා කළ ඇමරිකානු සමාගමකට ලංකාවේ උසාවියෙන් තහනමක්

  • By editor
  • April 20, 2023
  • 0
  • 56 Views

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ (භිනන්ච්එ.ච්ඔම්) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ඊයේ (19) නියෝගයක් නිකුත් කළේය.

ඒ මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මඟින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී ය.

ඇමෙරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරටින් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මුල්‍ය සමාගමේ ගිණුම් අටක අත්‍යන්ත මුදල් වශයෙන් රුපියල් කෝටි 43කට අධික මුදලක් තැන්පත් වී ඇති බවට මෙම විමර්ශනයේ දී හෙළිවූ බවත්, ඒ අනුව එම ගිණුම් අටේ ගනුදෙනු ඊයේ (19) සිට මාස හයක කාලයක් අත්හිටුවීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

ඒ අනුව ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගම (ශ්‍රී ලංකාව), ඔන්මැක්ස් පී.ටී.වයි.එල්.ටී.ඩී. සමාගම (ඔස්ට්‍රේලියාව), ශ්‍රී ලාංකිකයින් වන ධනංජය ගයාන්, සම්පත් සඳරුවන් ලේනදූවගේ, සාරංග රන්දික ජයතිස්ස (ගිණුම් දෙකක්), වික්‍රමපේලි ගෙදර චන්ද්‍රකාන්ති සහ කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත් යන අයවලුන්ගේ නමින් පිහිටුවා ඇති ගිණුම් මෙලෙස අත්හිටවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *