පිරිමීඩ ජාවාරමේ මහ ලොක්කෝ අල්ලයි – විස්තරේ මෙන්න

  • By editor
  • August 27, 2023
  • 0
  • 142 Views

ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් වන චීන ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචාකර ඇති බව හෙළි වී තිබේ.

සැකකරුවන් රුපියල් ලක්ෂ 7ක මුදලකට කුලී පදනම මත බොරැල්ලේ නිවසක් ගෙන ඇති අතර එම නිවස පිරිසක් කොල්ල කෑ බවට ඔවුන් පසුගිය 19 වනදා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එහිදී සැකකරුවන් සඳහන් කර තිබුණේ කුලී පදනම මත ලබාගත් තම වෑන් රථය, ලැප්ටොප් පරිගණක 7ක් සහ රුපියල් ලක්ෂ 170ක මුදලක් එලෙස කොල්ල කල්ලිය විසින් කොල්ලකා පළාගොස් ඇති බවය.

ඒ අනුව, කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශන සිදුකළ පොලීසිය විසින් දුරකතන දත්ත හා CCTV දර්ශන පරීක්ෂා කර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගනු ලැබීය.

ඉන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඒ අතර අදාළ චීන ජාතිකයාගේ රියදුරුද සිටින බවය.

ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, චීන ජාතිකයා විසින් රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් තමන්ට ලබාදී කොල්ලයක් සිදුකරන අයුරින් රඟපෑමක් සිදුකළ බවය.

අනතුරුව චීන ජාතිකයා හා ඔහුගේ තවත් හිතවත් චීන ජාතිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සිදුකරන බව අඟවමින් මෙරට තුළ මහා පරිමාණයෙන් ඔවුන් දෙදෙනා පිරමීඩ ජාවාරම සිදුකර ඇති බවය.

එමගින් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචා කර ඇති බවත් පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

පසුව සැකකාර චීන ජාතිකයා පිරමීඩ ජාවාරම සිදුකළ කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිවස පොලීසිය විසින් පරීක්ෂා කළේය.

ඒවන විටත් එහි සිටි චීන ජාතිකයන් 15දෙනා ලැප්ටොප් පරිගණක 40ක් පමණ රැගෙන පළාගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම සැකකරුවන් කොල්ලකෑ බව පැවසූ වෑන් රථය ඇතුළු භාණ්ඩ තොගයද පොලීසිය විසින් සොයා ගනු ලැබීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *