මහවැලි ඉඩම් නෑ හිතවතුනට බෙදන්නට ගිය රොෂාන් රණසිංහ ජනාධිපතිගේ පන්දුවකින් දැවී යයි

  • By editor
  • December 3, 2023
  • 0
  • 113 Views

ක්‍රිකට් අර්බුදයේ දඟ පන්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගහැර දේශපාලන පිටිය දෙසට දෝළනය වෙන්නට පටන් ගෙන තිබේ. ඒ ආකාරයෙන් දෝළනයවූ පන්දුවක් හමුවේ මීට දෙතුන් දිනකට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා වූ රොෂාන් රණසිංහගේ කඩුල්ල දැවී යන ලද්දේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදීමය. පෙර කළාපයකින් අප ඔබට කීවා සේ ලංකාවේ ක්‍රිකට් ගැටුම් සහ ප්‍රශ්ණ වලින් වියුක්තව පැවති දිනයක් නැත්තේය. එහෙත් වර්තමානයේ මෙන් ලංකාවේ ක්‍රිකට් පාර්ලිමේන්තුව සෙලවූ කාලයක්ද නැත්තේය.

අයවැය විවාදය මධ්‍යයේද මන්ත්‍රිවරු වැඩි වශයෙන් කතා කරන්නේ ක්‍රිකට් ගැනය. ඒ නින්දාම පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුව්දී කථානායකවරයා අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසූවේ ක්‍රිකට් කතාවට තවත් දවසක් වෙන් කර දෙන ලෙසයි. බැලූ බැල්මට ඒ යෝජනාව හොඳයයි අපටද සිතෙන්නේ ක්‍රිකට් කථා නිසා මේ යන විදියට නිශ්චිත දිනට අය වැය සම්මත කරගැනිමට නොහැකි විය හැකි බැවිනි. අද මේ මතුව තිබෙනා ක්‍රිකට් අර්බුදය ලංකික සමාජය මුලින් කියවා ගන්නේ ක්‍රීඩකයන්ගේ කුසළතාවයන්ගේ ගැටළුවක් ලෙසය. තේරීම් කමිටුව, පුහුණු කරුවන් වැනි දේ පිළිබඳව අවධානය යොමු වුනමුත් සමාජගත පණිවිඩය වූයේ බෝර්න් අගෙයින් නම් ආගමික න්‍යාය‍යේ දේවගැතිවරුන් කණ්ඩායමට බලපැම් කරනා බවත්, ජ්‍යේෂ්ට ක්‍රීඩකයන් එම  ආගමට එක්වීමට ක්‍රීඩකයන්ට බලපෑම් කරනාබවත්ය. එහී චෝදනාව කොයිතරම් දුරදිග ගියේද යත් ඒ පිළිබඳ සොයා බලන්නට වෙනමම කමිටුවක්ද පත්කරනු ලබන්නේය.

ඕස්ට්‍රේලියාවේ පැවති ටී 20 තරගවලියේදී ලංකා කන්ඩායම ලද අසාර්ථ්ක බව සහ ආසියානු කුසලාන අවසාන මහා තරගයෙදී ඉන්දියානු පිල හමුවේ ලද පරාජය සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අසාර්ථක වීම සහ ක්‍රිකට් පරිපාලනයේ සාබඳතාවයක් ඇති බවට පැතිරෙමින් තිබූ කට කතාවන්ට වලංගු බවක් ලැබුන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදම්, විදෙස් සංචාරයන්ට නිළියන් රැගෙන යාම, ක්‍රිකට් විධයක කමිටු සාමාජිකයන්ගේ පවුල් පිටින් සංචාරයන්ට සහභාගී වීම වැනි කරුණු සියල්ල එක්වී ලෝක කුසළානයේදී ලද බිහිසුණු පරාජය සමග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අසාර්ථක වීමට ක්‍රිකට් කළමණාකරණය වගකිවයුතු බවට මතයක් සමාජ ගත වන්නට විය. 

ලෝක කුසළාන තරගාවලියට පෙර සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මූණ නරක් කරගෙන සිටි ක්‍රීඩා ඇමතිවරයා ගැටුමට සක්‍රීයව මැදිහත්වන්නේ මේ අවස්ථාවේදීය.  1973 

ජාතික ක්‍රීඩා පණතෙන් තමාට ලැබී ඇති බලතළ යොදාගනිමින් එකවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශම්මි සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය විසුරවා හැර අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩළයක් පත් කිරිම අමාත්‍යවරයාගේ මැදිහත් වීමේ කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැක්කේය.  ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගැනීමත්, ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමෙන්තු වරප්‍රසාදවලට මුවා වී එකී අධිකරණ තීන්දුව විවේචනය කිරීමත් නිසා ලංකාවේ සියළු ප්‍රශ්ණ මගහැර ක්‍රිකට් අංක එකේ ගැටළුව බවට පත් විය. ඒ සමගම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේළනය විසින් ලංකාවට ක්‍රිකට් තහනමක් පනවන්නට කටයුතු කෙරුණි. 

ලංකාවේ ක්‍රිකට් අර්බුදය ගැන ලිවීමේදී ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහගේ ක්‍රියා කළාපය ප්‍රශ්ණ සහගත බව නොලියා බැරිය . ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ගැටුමක් නිර්මානය කර ගන්නේ ක්‍රිකට් සිදුවීම නිසාම නොවේ. රොෂාන් රණසිංහ සහ ජනපති මුලින්ම ගැටෙන්නේ සමනළ වැවේ ජලය වලව නිම්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා මුදා නොහැරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමගය. එම අවස්ථාවේදීද රොෂාන් රණසිංහ සහ කැබිනට් සාමුහිකත්වය අතර ගැටුමක් නිර්මාණය වෙමින් තිබුනි. ඊට පසු අවස්ථාවකද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා ඇමතිවරයා අමතමින් ක්‍රීඩා සංගම් සමග ගැටුම්  ඇති නොකර ගන්නා ලෙස දන්වාසිටියේය. ඒ වනවිටත් විවිධ හේතු දක්වමින් අමාත්‍යවරයා විසින්  කරාටේ, පාපන්දු සහ රග්බි යන ක්‍රීඩා පාලක මණ්ඩල විසුරවා හැරීම නිසා එම ක්‍රීඩා තුනම ශ්‍රී ලංකාවට තහනම් කරන්නට එකී ක්‍රීඩාවන්ට අදාල ජාත්‍යන්තර සංගම් කටයුතු කර තිබුනි. එම තත්ත්වය උපුටා දක්වමින් ” ක්‍රිකට් වලට අත තියන්න එපා. එහෙම උනොත් ඒක ගැටළුවක් වෙයි” යනුවෙන් රොෂාන් රණසිංහට උපදෙස් දුන්නේය. 

එහෙත් ක්‍රීඩා අමාත්‍යරයා එකී උපදෙස් තැකුවේ නැත. ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස් වලින් මුලාවී සිටි ඔහු ක්‍රිකට් ආයතයද අත් හිටවමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ සමගම ඔහු විපක්ෂයේ වීරයා විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අත් හිටවූ දින පටන් රොෂාන් රණසිංහ සිටියේ ආණ්ඩුවේ වුවද ඔහුට අනුග්‍රහය දැක්වූයේ විපක්ෂයයි. වෙනකක් තබා රොෂාන් රණසිංහට ඕනෑම වේලාවක ස.ජ.බ දොර ඇර ඇතිබව විපක්ෂ නායක සජිත් කීවේය. ඒ සමගම ජනාධිපතිගේ පාර්ශවයෙන් තමාට හිරිහැර සිදුවෙන බව ක්‍රීඩා ඇමති පවසන්නට විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයා වන ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යේෂ්ට උපදේශක සාගල රත්නායක ක්‍රීඩා ඇමතිගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. වෙනකක් තබා  තමාට වස දිය හැකිබැවින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වතුරවත් නොබොනා බව ඔහු මාධ්‍යට කීවේය. ඉන් නොනැවතෙන ඔහු හොරු රකිනා බවට ජනාධිපති සහ ජනාධිපති කාර්‍යාලයට චෝදනා කරන්නට විය. වඩාත් ආන්දෝලනාත්මක කථාව රොෂාන් රණසිංහ කරනුයේ පසුගිය 27 වන සඳුදාය. එදින පාර්ලිමේන්තුව හමුවේ ඔහු පවසනුයේ තමා මහ මග මරාදැමුවහොත් ඊට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකිවයුතු බවය. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔහු කළ අවසාන කථාව එයවන අතර ඊට සුළු මොහොතකට පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වීසින් ඔහු හොබවමින් සිටි ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යංශයන්ගෙන් ඉවත් කරනා ලදි. 

මේ නාටකය බලා සිටි හුදී ජනයා සිතන්නේ ජනාධිපති දූෂිතයයි පැවසෙන ක්‍රිකට් ආයතනයේ පැත්තගෙන එහි හොරකං අල්ලන්නට ගිය ක්‍රීඩා ඇමති එළවා දැමු බවය. ප්‍රධාන ධාරාවෙ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද එක පෙලට ජනගත කරමින් ඉන්නේ එකී මතයමය. එහෙත් සත්‍ය විටෙක ප්‍රබන්ධය තරම් ආකර්ශණිය නොවේ. එවැනි අවස්ථාවල දී අපට අසන්නට දකින්නට ලබෙනා දේට වඩා සැබෑ සත්‍ය වෙනස් විය හැක. ක්‍රීඩා අමාත්‍යවරයා නෙරෙපීමේ සිදුවීමද එසේමය. එහි බොහෝ පාර්ශව විසින් නොකියවූ පරිච්චේද බොහෝය. සතිය කළ විශේෂ සොයා බැලිමකදී වාර්තා වූයේ ක්‍රීඩා ඇමතිවරයා නෙරපීමේ තින්දුව පිටුපස බොහෝ දෙනෙක් නොදන්නා කරුණු දෙකක් තිබෙනා බවය. ඉන් පළමුවැන්න මහවැලි කළාපයේ ඉඩම් බෙදීම සම්බන්ධ කරුණක් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා අතර නොරුස්සනා බවක් ඇතිවන්නට ප්‍රධන හේතුව එය බවය.  

මේ ඉඩම් බෙදීමේ අර්බුදය පිළිබඳ කලක සිට දේශපාලන ක්ෂේස්ත්‍රයේ කථාබහ කෙරුණද එහි සැබෑ තතු එළියට එන්නේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහාය.   අංක IR/2023/S7 යටතේ වාරිමාර්ග අමාත්‍යවරයාවන රොෂාන් රණසිංහ විසින් ඉදිරිපත් කරනා ලද අමාත්‍යමණ්ඩළ සංදේශය මගින් මහවැලි බලප්‍රදේශයන් ගනනාවක ඉඩම් 200 කට ආසන්න ප්‍රමාණයක් බෙදා දීමට අනුමැතිය ඉල්ලා තිබේ. මහවැලි ඉඩම් යනු නිස්චිත අරමුණක් වෙනුවෙන් වගකිමක් සහිතව පරිහරණය කළයුතු ඉඩම් වන අතර ඒවා බෙදා දීමේදී කෘෂිකාර්මික කටයුතු වලට සහ දැනට ක්‍රියත්මක ව්‍යාපෘතීන් සහ වර්තමාන පදිංචි කරුවන්ගේ යටිතළ පහසුකම් වර්ධණයට මුල් තැන දියයුතු බව පිළිගැනිමය. එමෙන්ම වර්තමානයේ එම කළාපයන්ගේ පදිංචි පවුල් වල අනුපවුල් සඳහාද ප්‍රමුඛ තාවය මබාදිය යුතු වේ. එසේ තිබියදී ඉඩම් අමාත්‍යවරයා ප්‍රමුඛතාවල ලබදී ඇත්තේ සිය පෞද්ගලික හිතවත්කම් උඩබව ඔහුට විරුද්ධව නැගෙනා චෝදනාවකි.

අංක IR/2023/S7 අමාත්‍ය මන්ඩළ පතිකාව මගින් අමාත්‍යවරයා අක්කර 50 ක ඉඩමක් ලබාදීමට යෝජනා කරන්නේ පුජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ටය. ඒ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ කාබනික වගාව වෙනුවෙනි. සිටිධම්ම හිමියන්ට මෙම අක්කර 50 දීමට එම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කරන්නේ වලව කළාපයේ මයුරපුර ප්‍රදේශයෙනි. ඊට අමතරව අංක 423, නාවල පාර, රාජගිරිය ලිපිනයේ කන්සල්ටිං ඉන්ජිනියරිං ඇන්ඩ් කන්ට්‍රැක්ටර්ස් ආයතයට දීමට යෝජනා කරනා ඉඩම්, අක්කර ගණන අක්කර 50 කි . පොල් සහ වෙනත් වගාවන් සඳහා එම සමාගමට අක්කර 50 ක් දීමට අමාත්‍යවරයා යෝජනා කරන්නේ බී කළාපයේ රිදී තැන්න නගරයෙනි.

එම සමාගමටම කෘෂි කාර්මික සහ පාරිසරික සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් වලව කළාපයේ මයුරපුරයෙන් අක්කර 49 ලබාදීමටද රොෂාන් රණසිංහ ඇමති වරයා සිය කැබිනට් පතිකාවෙන් යෝජනා කරයි. ඇමතිවරයාගෙ ඉඩම් බෙදිල්ල ඉන් නතර වන්නෙ නැත. තවත් පාර්ශව ගණනාවකට අක්කර පහ බැගින් ලබාදෙන්නට ඔහුගේ කැබිනට් පත්‍රිකාව යෝජනා කරයි. එම ඉඩම් සඳහා යෝජිත ව්‍යාපෘති අතර භවනා මධ්‍යස්ථාන, අවන්හල්, සංචාරක මධ්‍යස්ථාන වැනි යෝජනා රැසක් ඇතුළත්ය. ඉඩම් අක්කර 200 කට අධික ප්‍රමානයක් බෙදාදීමට තෝර ගෙන ඇති පිරිස 14 දෙනෙකි.  එම ලයිස්තුව පරීක්ෂා කරනා ඕනෑම කෙනෙකු තුළ සැකයක් ඇතිවන්නේ ඔවුන් අතර බම්බලපිටිය, රාජගිරිය, කුරුණෑගල වැනි නගරවල ලිපිනයන් සහිත අයද සිටිනා බැවිනි. 

එවන් පසුබිමක් තුළදී වාරිමාර්ග අමාත්‍යංශය මගින් ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුළ සැකයක් ඇතිවීම පුදුමයක් නොවේ.  වැඩි දුර කරුණු අධ්‍යනයේදී එම ලයිස්තුවේ සිටිනා සියළු දෙනා පාහේ අමාත්‍යවරයාගේ සමීපතමය්න් බව තහවුරු කරගන්නට ජනධිපතිවරයා වමත්ව ඇතිබව දේශපාලන ආරංචිමාර්ග පවසයි. 

ඒ අනුව පසුගිය 27 වනදා පාර්ලිමේන්තුවේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙම කැබිනට් පත්‍රිකාව සහ එහි ඉඩම් බෙදාදීමට යෝජනා කර ඇති පිරිස පිළිබඳව සිය විරෝධය පලකර ඇත. එපමනක්ද නොව අහිංසක මිනිසුන් ඉඩම් නොමතිව දුක් විඳිද්දී තම ඥාති මිත්‍රයන්ට මහවැලි ඉඩම් බෙදා දෙන්නට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සාධාරණදැයි  ඔහු රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්ණ කර ඇත. ජනාධිපතිවරයා ප්‍රශ්ණ කරනුයේ සියළු සාක්ෂි සහිතව බව වැටහුනු නිසාදෝ අමාත්‍යවරයා කිසිම පිළිතුරක් නොදී නිහඬව සිට ඇත. 

එදින පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ක්‍රිකට් ගැනද එකම එක ප්‍රශ්ණයක් විමසා ඇත. ඒ ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබිදී ක්‍රිඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂයේ ප්‍රධන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයිද යන්නයි. ඊටද පිළිතුරු දීමට ක්‍රීඩ අමාත්‍යවරයා අසමත්ව ඇත. ක්‍රිකට් ප්‍රශ්ණය ආරම්භයේ සිටම පෙනෙනා කාරණය වනුයේ ක්‍රීඩ ඇමතිවරයා එම ගැටළුව විසඳා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස සිය අමාත්‍ය බලතල යොදාගැනිමට වඩා වීදි සටන් කරුවෙක් ලෙස පාරට බැස ජනතා සහය ලබාගෙන කටයුතු අයි.සී.සී. ය සමග ගැටෙන්නට උත්සහ ගන්න බවයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය කරනා බවට රොෂාන් රණසිංහගේ විශ්වාසනීයයයා වු අර්ජුන රණතුංග පවා චෝදනා කරනුයේ ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයටය. එවන් ආයතනයක් සමග විපක්ෂ නායක හරහා ක්‍රීඩා අමාත්‍ය වරයා කරනා ගනුදෙනුව කුමක්දැයි ඇතතටම ප්‍රශ්ණ සහගතය. 

මෙම ප්‍රශ්ණ දෙකටම ඇමතිවරයා නිරුත්තරවීම තුළ කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳවා පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහුව ඇමතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාරදී ඇත. කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සියධූරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

පසුගිය මාස කිහිපයේදී අමාත්‍ය රොෂාන් රණසිංහගේ දේශපාලන හැසිරීම දෙස බලනා කළ ඔහු වෙනමම න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරනා බව දැක ගත හැක. ඔහු ජනාධිපති සමග මෙන්ම තමා පාර්ලිමේන්තුවට ගෙන ආ පොදුජන පෙරමුණ සමගද එතරම් හොඳ සබඳතාවයක් පසුගිය කාලයේ පවත්වාගෙන ගොස් නැතිබව රහසක් නොවේ. ඔහු අමාත්‍ය ධූරයෙන් නෙරපීම ගැන හෝ ඔහු දැරූ ක්‍රීඩා සහ යෞවන කටයුතු යන අමාත්‍යංශ දෙක ස.ජ.බ නියෝජනය කරමින් ආණ්ඩුවට එක්වූ හරීන් ප්‍රනාන්දුට ලබදීම ගැන පොහොට්ටුව විරෝධයක් දක්වා නැත.

එමෙන්ම රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඉවත්ව යන අවස්ථාවේ ”ක්‍රිකට් එළබෙන ජනාධිපතිවරණයෙන් හෝ නිවැරදි කරනා බව” පැවසීම බොහෝ පාර්ශවයන්ගෙ අවධනයට ලක්වෙමින් පවතී. එම ප්‍රකාශයෙන් ගම්‍යවනුයේ සැඟවී වෙස් බැන්ද රොෂාන් රණසිංහ ලඟදීම එළිපිට නටන්නට සූදානම් බවදැයි දේශපාලන ක්ෂේස්ත්‍රයේ කථා බහට ලක්වෙමින් තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *