මාස 11ක් රිමාන්ඩ් භාරයේ තැබූ ශානිගේ ගෝලයට මිලියනක් වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට නියෝග

  • By editor
  • October 7, 2023
  • 0
  • 179 Views

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්ව සිටි එම දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා වෙත රුපියල් මිලියනක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියම කරනු ලැබීය.

එමෙන්ම ඔහුට ගෙවීමට ඇති වැටුප් සහ දීමනා මෙන්ම ඔහු විශ්‍රාම ගැනීමට නියමිත වන්නේ නම් ඒ සදහා වන සියලු දීමනා ලබාදීමට ද කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොටුකර ගැනීම සඳහා ඔහුගේ උසස් නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් ඇතැම් ස්ථානවල අවි ආයුධ තබා ඇති බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් වූ චෝදනාව මත ශානි අබේසේකර සමග උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන මාස 11ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අනතුරුව සුගත් මෙන්ඩිස් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම පෙත්සම විභාගයට ගැණුනි. ඒ අනුව වගඋත්තරකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් කිසිදු සාක්ෂියක් නොමැතිව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවත් හෙළි වී තිබේ.

නියමිත ක්‍රියා පටිපාටිය ප්‍රතික්ෂේප කර වැරදි ලෙස වැඩ තහනම් කර ඇති බවත් තම වැටුප් හා හිමිකම් ප්‍රතික්ෂේප කර තමාට සහ තම පවුලේ අයට දුෂ්කරතා ඇති කරන බවටත් සුගත් මෙන්ඩිස් සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සදහන් කර සිටියේය.

මාස 11ක සිරගතව සිටීමෙන් අනතුරුව මෙන්ඩිස්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ ව්‍යාජ ප්‍රබන්ධ සහ අසත්‍ය ප්‍රකාශ අඩංගු පැමිණිලිවල පරස්පර කරුණු කිහිපයක් සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමඟින් මෙන්ඩිස්ට ඇප ලබා දෙන ලදී.

වාස් ගුණවර්ධන ඇතුළු පිරිස කොටු කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසේකර ආයුධ තැබුවේ යැයි අසත්‍ය චෝදනා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමාව රැගෙන ගොස් රිමාන්ඩ් කළ බවට මෙන්ඩිස් පැමිණිලි කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *