අතීතයෙ ලංකාව හැඳින්වූ නම් අතර රත්නදීපයද එකකි. එදා ලංකාවට රත්න දීපයයි කියන්නට හේතුව ලක් පොළවේ සැඟව තිබූ වටිනා මාණික්‍ය සම්පත බව රහසක් නොවේ. නිසි කලමණාකරනයකින් යුතුව ගොඩගන්නේනම් අදටද ලංකාවට ගොඩ එන්නට ලක් පොළවේ ඇති මැණික් සම්පත ඉහටත් උඩින් බව තතු දන්නෝ පවසති. අවාසනාවට මෙන් ලංකාවේ බොහොවිට සිදුවන්නේ මිණිකැට කුඩුකර තිරිවානා ඔපලෑමය. එහෙයින් අන් බොහෝ සම්පත්මෙන්ම මැණික් සම්පතද නාස්ති වී යන්නේය.
මේ පූර්විකාව ලියන්නට හිතුනේ මැණික් ගැන ලියන්නට නොව ලංකාවේ මැණික් කර්මාන්තයේ නිසිබලධරයාවන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් සභාපතිවරයා වන විරාජ් ද සිල්වා විසින් සිය ධූරයේ බලතල අවභාවිත කරමින් සිදුකරනා නොපනත් කම් ගැන ඔබ දැනුවත් කරන්නටය. මැණික් කර්මාන්තය රැකගෙන එහි දියුණුවට කැපවිය යුතු ප්‍රධාන පුද්ගලයා මැණික් පමනක් නොව සමස්ථ අධිකාරිම ගිලගන්නා බහිරවයෙක් බවට පත්වීම තුළ සැඟව ඇති අවධානම හඳුනාගත් එම ආයතනයේ සේවකයෝ ”මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රැක ගැනීමේ සංවිධානය” නමින් සන්ධාන ගතව සිටිති. මේ වන විටත් ඕවුහු සභාපති විරාජ් ද සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ෂණය කිරිමේ කොමිසන් සභාව වෙත ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත්කර හමාරය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වගකීම වනුයේ මැණික් කර්මාන්තය නියාමනය කිරීම මිස මැණික් ගැරීම නොවනා බව එහි සේවකයී අල්ලස් හෝ දූෂණ වැලැක්වීමේ කොමිසමට කළ පමිණිල්ලේ දැක්වෙයි. රජය සතු ඉඩම්වල ඇති මැණික් සහිත බිම් වෙන්දේසිය අධිකාරිය සතු තවත් වගකීමකි. එහෙත් වත්මන් සභාපති විරාජ් ද සිල්වා කටයුතු කරන්නේ එකී වගකිම මුළුමනින්ම පැහැර හැර කිසිදු වෘතීය භාවයකින් තොර පතල් කරුවෙක් ලෙසින් බව සේවකයෝ තම පැමිණිල්ලේ දක්වා ඇත.
සභාපති විරජ් ද සිල්වා රජය සතු මැණික් ඉඩම් වෙන්දේසි කිරීම නවතා දමා විවිධ සංවිධානවල නම් ඉදිරියට දමා තම සගයන් යොදගෙන එම ඉඩම් වල මැණික් ගැරීම සිදුකරනා බව වාතා වේ. අඩු ආදායම් ලාභීන් නගාසිටවීමට ව්‍යාපෘතීන් කරනා බව අඟවමින් ඔහු තම හිතවතුන් යොදාගෙන මහා මැණික් ජාවාරමක් සිදුකරයි. මේ චෝදනාව හුදු වගකීම් විරහිත එකක් නොවනා බව පැහැඳිළි වන්නේ මැණික් සහ ස්වර්ණාභරන අධිකාරිය විසින් නිකුත් කර ඇති අංක 2293 දරණා මාණ්ඩලික පත්‍රිකාව නිරීක්ෂණය කිරීමේදීය. ලිපිගොනු අංක NGJA/16/2023 පැරඩයිස් වැව නම් 2023/04/10 දිනැති kuruvita paradise reseveair pilot project නැමැති එම මණ්ඩළික පත්‍රිකවේ පැරඩයිස් වැව ආශ්‍රිතව කෙරෙනා මහා පරිමාණ මැණික් ජාවාරමක් හෙළිකර තිබේ.
වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක පැරඩයිස් වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී මඩ සහිත අවසාදිත ඉවත් කිරීම කෘෂිකර්ම දෙපාර්ත මෙන්තුව මගින් ජාතික යන්ත්‍රෝපකරණ ඒකකයට සහ SANA contractors සමාගම්වලට උප බදු ක්‍රමයට ලබාදී ඇත. එම කටයුත්තේදී ග්‍රාම නිළධාරී වසම් අංක 51, නව ජනපදය හී පිහිටි සමෘධි ප්‍රජාමූල සංවිධානය සමග අධිකාරිය එලඹ ඇති ගිවිසුමට අනුව කටයුතු කළ යුතුව ඇත. අධිකාරිය විසින් එම සමෘධී සංවිධනයට ලබාදි අති බලපත්‍රය අනුව ඉල්ලම් සහිත පස් ඉවත් කිරීමේදී ලැබෙනා මැණික් වෙන්දේසිය තෙක් ගිවිසගත් බැංකුවක තැන්පත් කළ යුතුය. පසුව ඒවා වෙන්දේසියෙන් ලැබෙනා මුදලින් 30% ක් අධිකාරියටද, තවත්10% එහි සේවය කළ අඩු ආදායම් ලාභීන් අතරද බෙදී යායුතුය . ඉතිරි 60% ව්‍යාපෘතියේ යන්ත්‍ර සූත්‍ර සහ පිරිවැය වියදම් පියවීම පිණිස යොදාගත යුතු වෙයි.
එහෙත් දිනපතා රාත්‍රියේ පැරඩයිස් වැවේ නීති විරෝධීව මැණික් ගැරීම් සිදුවෙන බවට අධිකාරියේ ඉඩම්, පතල් සහ පරිසර අධ්‍යක්ෂවරයා අධිකාරියට පැමිණිළි කර තිබේ. පැරඩයිස් වැඩ බිමේ සිදුවන මේ මහා මැණික් කොල්ලය අධිකාරියේ සභාපතිවරයාගේ අනු දැනුමෙන් සිදුවෙන බව එහි සේවකයෝ පවසති. පැරඩයිස් වැව ව්‍යාපෘතියට අමතව තවත් රජය සතු මැණික් ඉඩම් කිහිපයකම මේ ආකාරයෙන් සිදුවන නීති විරෝධි මැණික් ගැරීම් පසුපස අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා සිටිනා බව එහි සේවකයෝ පවසති. ඊට අමතරව එම ඉඩම් අවට සුළු පරිමාණයේ ඉල්ලම් ගොඩ දැමීමේ යෙදෙනා පතල් කරුවනට තර්ජනය කර ඔවුන් පලවා හරිනා මැර පිරිස්ද ක්‍රියාත්මක වන්නේ සභාපතිවරයාගේ උපදෙස් මත බව ප්‍රදේශවාසීහු පවසති.
විරාජ් ද සිල්වාගේ බලපෑම එල්ලව ඇත්තේ අනවසර මැණික් ගැරීමට පමනක්ම නොවේ. මැණික් විදේශයන්ට විකිණීමේදී සිදුකරනා තක්සේරු කටයුතු වලටද ඔහු බලපැම් කරනා බව තහවුරුව ඇත. තක්සේරු නිළධාරින්ට බලපෑම් කරමින් මැණික් අඩු වටිනාකමකට තක්සේරු කර ව්‍යාපාරිකයන්ගෙන් අත යට මුදල් ලබාගන්නා මොහු නිසා විශාල මුදල් ප්‍රමානයක් රටට අහිමිව යයි.
පවතින ආර්ථික තත්ත්වය අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනිම් අත් හිටවා ඇත. එහෙත් එය විරාජ් ද සිල්වාට අදාලවී නැත. ඔහු සම්මත බඳවා ගැනීම් පටිපාටියට පිටින් යමින් තම හිතවතුන් අධිකාරියට බදවා ගනිමින් සිටිති. අළුතින් සේවකයෙකු බඳවා ගැනීමේදී සම්මත ක්‍රමය අනුව මුලින්ම මුදල් අමාත්‍යංශයෙ අනු මැතිය ලබාගත යුතුය. අනතුරුව ඇබැර්තුව ගැසට් කර ප්‍රසිද්ධ කළ යුතු අතර සම්මුඛ පරීක්සණයකින් අදාල බදවා ගැනීම කළ යුතුය. එහෙත් විරාජ් ද සිල්වාට මෙම උපදෙස් අදාල නැත. මුදල් අමාත්‍යංශය විසින් නා බඳව ගැනීම අත් හිටවමින් අංක DMS/1630 හා 2023/06/23 දිනැති ලිපිය පවා නොතකමින් ඔහු අමතර සේවකයන් බඳවා ගනී. මෙලෙස බඳවාගන්නා සේවකයන් බහුතරයක් බදුල්ල ප්‍රදේශයේ සේවකයන් බවත්, රැකියාව ලබදීම සඳහා රැකියා ලාභීන්ගෙන් මුදල් ලබාගෙන ඇතිබවත් වාර්තා වේ. එමෙන්ම මෙම සේවකයන් හට අදාල වෘතීය සහතික නොමැති අතර ඒ වෙනුවෙන් කූඨ ලේඛන ඉදිරිපත්කරනා බවද වාර්තා වේ. මේ බහිරවයා ඉවත්කර මැණික් සා ස්වර්ණාභරන අධිකාරිය රැකදෙන මෙන් එහි සේවකයෝ වගකිවයුත්තනගෙන් ඉල්ලා සිටිති.