මිලේනියම් සිටි පාවාදීමේ ‘රහසුත් අරන්’ – ජෙනරාල් බලගල්ල සැඟව යයි.

  • By editor
  • November 3, 2023
  • 0
  • 347 Views

ශ්‍රී ලංකා යුද හමුදාවේ දාසය වැනි යුද හමුදාපති ධූරය දැරු විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල ඉකුත් විසි එක් වැනිදා දිවි සැරිය නිමා කර බොරැල්ල කනත්තේ සැඟව ගියේ රහස් දෙකක්ද සඟවාගෙනය.

එක් රහසක් ඇත්තේ ජෙනරාල් බලගල්ල ඉකුත් විසිඅට වැනිදා අවසන් ගමන් ගිය බොරැල්ල කනත්තේම වීම දෛවෝපගත සිද්ධියකි. කඩුවෙල පදිංචි ජෙනරාල් බලගල්ල අවසන් ගමන් යාමට බොරැල්ල කනත්තට ආවා සේම මීට වසර තිස් හතර වසරකට පෙර උලපනේ සිට බොරැල්ල කනත්තට අවසන් ගමන යැවීමට එක් අයෙක් ගෙන ආවේය . ජෙනරාල් බලගල්ලගේ දේහය හමුදා උත්තමාචාර මැද කාලතුවක්කු ගැලක තැන්පත් කර . කනත්තට ගෙන එද්දී එක්දහස් නවසීය අසු නවයේ නොවැම්බර් දහතුන් වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර කනත්තට ඔසවාගෙන ආවේද යුද හමුදා සෙබළු පිරිසකි. හමුදා අත්අඩංගුවට පත් වූ ඔහුගෙන් කොළඹදී ප්‍රශ්ණ කළ එක් අයෙක් වන්නේ එවකට යුද හමුදා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂව සිටි කර්නල් ලයනල් බලගල්ලය . ඔහු ඇතුළු පිරිසකගේ ප්‍රශ්ණ කිරීම් වලින් පසු . බොරැල්ල ගෝල්ෆ් පිටියේ ජාවිපෙ නායකයාගේ ඉරණම ලියැවි තිබුණි. විජේවීරට වෙඩි තැබුවෙි කුප්‍රකට පොලිස් නිලධාරියකි. ඒ පොලිස් අධිකාරිවරයා අර් ප්‍රේමදාාස ජනපති සමග ආමර් වීදියේදි එල්ල වු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් විය. මේ නිලධාරියා වෙඩි තැබුවද විජේවීර එකවර මිය ගියේ නැත. පණ අදිමින් සිටි ඔහුගේ සිරුර දැමුවේ බොරැල්ල කනත්තේ ආදාහනාගාරයටය. ඒත් මේ ගැන කර්නල් බලගල්ල කවදාවත් කතා කළේ නැත.

ඔහු කතා නොකළ තවත් දෙයක් තිබුණේය. ඒ සිද්ධිය ගැනද කතා නොකළ නිසා අද දක්වා මුළු රටම විස්වාස කරන්නේ වැරැදි මතයකි. ඒ සිද්ධියටත් කර්නල් බලගල්ල කලකට ඉහතදී දැරු සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ තනතුරද ගැවීම දෛවෝපගතය.

කර්නල් බලගල්ල තරු තුනේ ජෙනරාල්වරයකු වුයේ දෙදහේ අගෝස්තුවේය. තරු තුනේ ජෙනරාල් යනුවෙන් කියන්නේ ලුතිනන් ජෙනරාල් නිලය දරන්නාය. එනම් යුද හමුදාපතිය. ඔහු යටතේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ වුයේ බ්‍රිගේඩියර් කපිල හෙන්දාවිතාරණය . ඔහු පසු කලක නම් කරළියට එන්නේ ගෝඨාභය රාජපක්ෂවාදියකු වී ජාතික බුද්ධි ප්‍රධානියා ලෙසය . එනමුත් සරත් ෆොන්සේකා යුද හමුදාපති ධුරයේ සිටින තාක් කල් හෙන්දාවිතාරණ කෙරෙහි විස්වාසය තැබුවේ නැත . හෙන්දාවිතාරණ සතපහකට ගණන් ගත්තේ නැත. ෆොන්සේකා බුද්ධි අංශයේ වගකීම මේජර් ජෙනරාල් ජම්මික ලියනගේටද ඔහුගෙන් පසුව බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරටද පවරා තිබුණි . තමා ගණන් නොගැනීමේ වාඩුව ෆොන්සේකාගෙන් ගැනීමට හෙන්දාවිතාරණට අවස්ථාව ආවේ ෆොන්සේකා ජනපතිවරණයෙන් පැරැදීමත් සමගය.

කෙසේනමුදු එදවස හමුද බුද්ධි අංශයේ නිලධාරීන් හෙන්දාවිතාරණගේ හා බ්‍රිගේඩියර් සැකීගේ මිනිසුන් ලෙස දෙකොටසකට බෙදා තිබුණි . දෙපාර්ශවය අතර ඇතුළේ යුද්ධය කවදාවත් එළියට ආවේ නැත. මෙකල රටේ කතාබහට ලක් වන මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අයත් වුයේ හෙන්දාවිතාරණ පාර්ශවයටය.

“මිලේනයම් සිටි මහා පාවාදීම ” නමින් තවමත් හැඳින්වෙන ප්‍රහසන නාටකය කරළියට ආවේ කපිල හෙන්දාවිතාරණ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ ධුරය දරන අවදියේදීය. ඒ නාටකය ඉදිරියේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල ද සිටියේ අඳගොලු බිහිරෙකු සේය. ඇතැමි විට යුද හමුදාවේ බුද්ධි අංශය මෙහෙයැවීමට පුරෝගාමියකු සේම මුල්ම සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂවරයා ඔහු වීම නිසා මේ නාටකයේ ඇත්ත කතාව එළි කළේ නැති වන්නට පුළුවන.

ඇත්තටම මිලේනියමි සිටිවලදී වුයේ කුමක්ද .යුද හමුදා බුද්ධි සෙබළු එල්.ටි.ටි.ඊ.යේ ඉලක්ක බවට පත්වුයේ “මිලේනියම් සිටි පාවාදීම “නිසාද ඊට ඇති උත්තරය ”නැත” යන්නය .  සන්නද්ධ බුද්ධි අංශයේ කර්නල් රිස්වි මිඩින් හා ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුත්තලිෆ්ගේ ඝාතන පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවල තොරතුරු එළියට නොදීම මළවුන්ට සදාකාලිකව ගෞරවනීය ලෙස නිදන්නට අවස්ථාව හිමිවිය.

මිලේනියමි සිටි කතාව ද හුදෙක් ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධයක් සේය. එය එළියට එන්නේ දෙදහස් එකේ මහ මැතිවරණය කාලේය. එම ජන්දයේදි රනිල් වික්‍රමසිංහගේ සමීප කවයේ විශේෂ බළකායේ කීර්තිමත් විශ්‍රාමික නිලධාරියකු සිටියේය. හමුදාවෙන් විශ්‍රාම ගියද ඔහු සිය ගෝලයන්ට කතා කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. එසේ කතා කරන අතරේ නාවුල වු විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරියකු ඔහුට කතාවක් කිවෙිය. “සර් හේතුවක් දන්නේ නැ එස් .එෆ් එකට නියෝගයක් ලැබුණා පානළුවේ වෙඩ් පිටියදී දෙමළ කොල්ලෝ සෙට් එකකට තර්මෝ බැරික් ගහන හැටි ට්‍රෙනින් කරන්න කියල ටාගර්ටි එක බස් එකක් කීවා.” මේ කතාවේ බරපතලකම ගැන සිතු කීර්තිමත් නිලධාරීයා තම රෙජිමේන්තුවේ නමට කැළැලක් වෙයි සිතා උපදෙස් දුන්නේ අවි පුහුණුවට ගිය සැරයන්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසය. පානළුවට ගිය විශේෂ බළකා සරුයන්වරු තම පුහුණුව ගැන ප්‍රකාශ දුන්හ. එම ප්‍රකාශ අනුව සැක කටයුතු තැන් රැසකි . තර්මෝ බැරික් වු කලි රසයනික අවි ප්‍රහාරයකි. ඒ දවස් වල බසයක ගමන් ගන්නා කොටි ඉලක්කයක් ගැන බුද්ධි තොරතුරක් නොවිය. නමුත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එදවස රට පුරා ගියේ මැතිවරණය වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද බසයකය. මේ නිසා එල්.ටි.ටි.යට බැර කර රනිල් ඝාතන කුමන්ත්‍රණයක් ගැන සැක මතුවිය. රනිල් ගේ සොයුරෙක් මෙි ගැන පොලීසියට පැමිණිලි කළේය . එජය ප්‍රවෘත්ති සාකච්ඡාද පවත්වා මේ ගැන හෙළි කළේය.

ඒ අතරේ මහ මැතිවරණයෙන් එජපය ජය ලැබීය. පානළුවේ අවි පුහුණුව ගැන පරීක්ෂණ පැවැත්වූ පොලීසිය දෙදහස් දෙකේ ජනවාරී දෙවැනිදා අතුරුගිරියේ මිලේනියමි සිටි නිවාස සංකීර්ණයේ අංක 844 දරන නිවසවටලා එහි සිට් පිරිසක් අත්අඩංගුවට ගත්හ . නිවසේ තිබී එල්.ටි.ටි.ඊ.ඇදුම් කට්ටල හැට හයක්. බිම් බෝම්බ .තර්මෝ බැරික් අවියක්. ඇතුළු අවි අයුධද විය. අත්අඩංගුවට ගත් . පිරිස අතරේ සන්නද්ධ බුද්ධි අංශයේ කපිතාන් ෂාවුල් හමීඩ් නිලාම් ද විය. ඔහු පොලිසියට කිවේ තමා ක්‍රියාත්මක වන්නේ බ්‍රිගේඩියර් කපිල හෙන්දාවිතාරණ යටතේ බවය. පොලීසිය හෙන්දාවිතාරණ අමතා මිලේනියමි සිටි නිවස හමුදාවේ ආරක්ෂිත නිවසක් නම් ඒ ගැන යුද හමුදා මූලස්ථානයෙන් හෝ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහතිකයක් දෙන ලෙස ඉල්ලුහ. එනමුත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල එවැනි සහතිකයක් නොදුන්නේය. ඒ අනුව පොලීසිය කපිතාන් නිලාම් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ඇරැඹිය .

එහිදි හෙළි වුයේ මෙම නිවස කපිතාන් නිලාම් ගේ බිරිඳට සෙලාන් බැංකුවේ ලොතරැයියකින් දිනුම් ඇදිමක් ලෙස ලැබුණු එකක් බවය. එ දවස මිලේනියම් සිටි නිවසක මාසික කුලීය රැපියල් පන්දහසක් පමණ වුවත් මේ නිවසට රැපියල් පණස් දහස බැගින් ගෙවා ඇති බවය. එම මුදල ගෙවා ඇත්තේ යුද හමුදාවේ රහස්‍ය ගිණුමෙනි . එය විගණනාකාධිපතිගේ විෂය පථයෙන් එපිට ඇති ගිණුමකි. බුද්ධි අංශ නිර්දේශ මත යුද හමුදාපතිගේ අණින් ගෙවන එම මුදල් කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත . ආරක්ෂිත නිවසක් යනුවෙන් කීවාට මේ නිවසට දෛනිකව කෑම ගෙනවිත් තිබුණේ කොහුවල කඳවුරෙනි. එහි මෙම නිවසට යන වාහනයේ අංකය ඇතුළු සියලු තොරතුරු ලේඛන ගතව තිබුණි . කොටි අදින ඇදුම් මැසීමේ කොන්ත්‍රාත්කුව ගෙන තිබුණේ කපිතාන් නිලාමිගේ මස්සිනාය. ඔහු පානදුරේ සරික්කරමුල්ලේ පදිංචි කරුවෙකි. එසේ නම් මෙය ආරක්ෂිත නිවසක් වන්නේ කෙසේද. හැරුත් මෙය කපිතාන් නිලාම්ගේ බිරිඳට අයත් නිවසකි.

මේ නිවසේ සිටි දෙමළ පිරිස කවුද.

පොලිස් පරීක්ෂණ වලදී ඒ ගැන හෙළිවිය. ඒ දවස මඩකලපුව බළසේනාධිපති වුයේ කර්නල් සුමිත් මානවඩුය. දිනක් ඔහු කඳවුරු සංචාරය කරන විට කඳවුරක සිටි දෙමළ තරුණ පිරිසක් හමුවිය. ඒ ගැන ඔහු බුද්ධි නිලධාරියාගෙන් විමසු විට ඔහු කිවේ ඔවුන් පැරා මිලටරී හෙවත් අතුරු හමුදා සෙබළු බවය. එවැනි අය ලොව ඕනැම හමුදාවක සිටිති.  ඔවුන් නිත්‍යානුකූල සෙබළු නෙවේ. කර්නල් මානවඩු යෝජනා කළේ මෙි පිරිසට බෝම්බ දි කොටි පාලන පුදේශ වලට යවන්නටය ඒ වෙනුවෙන් හමුදා රහස්‍ය අරමුදලෙන් ගෙවන්නටය. ඒ කාරියට දෙමළ පැරා මිලටරි සෙබළු කැමැති වුහ. කොටි බුද්ධි අංශ නායකයකු වූ රාබන් මාස්ටර් මරා දමන්නේ සුමිත් මානවඩු යැවු මේ සෙබළුය. කොටි එහි වාඩුව ගත්තේ මඩකලපුවේ සිරිපාල බිල්ඩිමට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර සෙබළුන් තුනක් මරා දමාය.

කෙසේනමුදු ප්‍රහාරයට ගිය පැරා මිලටරි සෙබළුන්ට ගෙවන්නට රුපියල් හැත්තැපන්දහසක් කර්නල් මානවඩු යුද හමුදා මුලස්ථානයෙන් ඉල්ලීය. ඊට අනුමැතිය දෙන්නට ගිය වෙලේ බුද්ධි අංශ ප්‍රධානියෙක් . මෙය දැක මඩකලපුවේ බුද්ධි නිලධාරීට බැන වැදී වහාම පැරා මිලටරි සෙබළු බුද්ධි බළකාය යටතට ගෙන කොළඹ ගෙනාවෙිය. එතැන්සිට එය කපිතාන් නිලාම් යටතට පත්විය.

මේ අතරේ මාධ්‍යයේ ප්‍රචාරය වුයේ මිලේනියම් සිටි දිගුදුර විහිදුම් සෙබළු (එල්.එල්.ආර්.පී.හෙවත් ලර්ප්) අත්අඩංගුවට ගත් බවය. ඒත් හමුදාව ගැන විශේෂඥ දැනුම ඇති අය දන්නා කාරණාවක් වන්නේ බුද්ධි සෙබළු දිගු දුර මෙහෙයුම් නොකරන බවය. එවැනි සුවිශේෂි මෙහෙයුම් සඳහා ධාරිතාව ඇති විශිෂ්ට සෙබළු කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළු පමණි. බුද්ධි අංශය දෙන්නේ තොරතුරුය. උදාහරණයක් ලෙස ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ .ඇතුළු විශේෂ බළකා දිගු දුර විහිදුම් කණ්ඩායමක් කොටි ගුවන් හමුදාපති ශංකර් නැදුන්කර්නි වනයේදි මරා දැමුවේ බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් මුත්තලිෆ් දුන් බුද්ධි තොරතුරු මතය. එසේ නැතුව සති ගණන් වනයේ නොනැසි සිටිමට තරම් දැඩි පුහුණුව ක් බුද්ධි අංශ සෙබළුන්ට ලැබෙන්නේ නැත. එනමුත් මිලේනියමි සිටි සෙබළු දිගුදුර මෙහෙයුම් කළ බව ප්‍රචාරය වුයේ බුද්ධි අංශයේ ගොබෙල්ස් තියරියෙනි. 

හිට්ලර්ගේ ප්‍රචාරක යාන්ත්‍රිය භාරව සිටි ගොබෙල්ස්ගේ තියරිය වනාහි එකම බොරුව සිය දහස් වතාවක් කියන විට පරම සත්‍යය වෙිය. එනමුත් මිලේනියමි සිටි සෙබළු දිගුදුර මෙහෙයුම් නොකළ බවට සාක්ෂි පරික්ෂණ වලදී හෙළිවිය ඒ .මේ සෙබළු කොටි පාලන ප්‍රදේශවල ගිය බව කියන දවස් ගැන එවකට මඩකලපුවේ විශේෂ කාර්ය බළකා සහකාර පොලිස් අධිකාරි සරව්වන්දා දමා තිබු සටහන් වලිනි. පසුව ඔහු නියෝජ්‍ය පොලිස්පති වරයකු ලෙස විශ්‍රාම ගියේ එස්. ටී.එෆ් සේනාවිධායක ලෙසය. මඩකලපුවේ ඔහු සිටින විට දමා තිබු සටහන් අනුව කපිතාන් නිලාම් කියන දවස් වල කොටි පාලන ප්‍රදේශවලට ගොස් ඇත්තේ නිලාම් ගේ සෙබළු නොව විශේෂ බළකා සෙබළු ය. ඒ දවස එම ප්‍රදේශවල කිුයාත්මක වුයේ විශේෂ කාර්ය බළකායය. එබැවින් විශේෂ බළකා සෙබළු එම ප්‍රදේශවල මෙහෙයුම් කරන විට ඒ බව කල් තියාම දැනුම් දෙන්නේ අනවබෝධය මත අනවශ්‍ය ගැටුමක් වනයේදී ඇති වීම වලක්වා ගැනීමටය..

මේ කරුණු ගැන සලකා බලන කළ මිලේනියම් සිටි සෙබළු නටපු නැටුමකුත් නැත. ඒත් බේරේ පළුකුත් නැති මුත් හමුදා රහස්‍ය මුදලෙන් සල්ලී ගැනීමට මිලේනියම් සිටි නිවස ධන උල්පතක් විය. 

එපමණක් නොව දෙදහස් හතරේ චන්ඳිකා බණ්ඩාරනායක ආණ්ඩුව පත් වීමට තුරුම්පුවක් වුයේ මිලේනියමි සිටි පාවාදීම යනුවෙන් මවපු කතාවය වන්ද්‍රිකාගේ මන්ත්‍රිවරු එජපය සිය මැතිවරණ වේදිකාවෙි පට්ට ගැසුවේ මිලේනියම් සිටි පාවාදීම ගැන ගොබල්ස් තියරිය කිුයාත්මක කරමිනි. අදටත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයට ඉන් ගැලවීමක් නැත. රනිල් ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක පදවිය දරන මෙකල හෝ මිලේනියම් සිටි ඇත්ත කතාව එළියට ආ යුතුය එය එසේ නොකරන්නේ නම් එය ජනපති රනිල්ට කරන අසාධාරණයකි. එවැනි මහා බොරුවක් හමුවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල මුව වසාගෙන සිටියේ ඇයි. ඊට යළි කවදාවත් පිළිතුරු ලැබෙන්නේ නැත. ඒත් රෝහණ වීජේවීරට නම් තමාට ඇති ප්‍රශ්න වලට උත්තර ගෑනීමට දැන් බොරැල්ල කනත්තේදී අවස්ථාව උදා වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *