රාජ්‍ය මුදල් සමග සෙල්ලම් කරන සෞඛ්‍ය බලධාරීන්..

  • By editor
  • April 5, 2023
  • 0
  • 71 Views

කෝප් කමිටුවේදී වැඩ කරන්නේ නෑ කිව්ව මිලියන 70 වටින ඹෘෂධ පද්ධතිය වෙනුවට අලුතෙන් හඳුන්වාදුන් මිලියන 700 ක් වියදම් කළ දත්ත පද්ධතියත් වැඩ කරන්නේ නැති ලකුණු..

වැඩ කරන්නේ නෑ කිව්ව දත්ත පද්ධතියට දිගටම අත්තිකාරම් ගෙවලා..

ස්ථිර ඖෂධ දත්ත පද්ධතියක් නොමැති වීමෙන් බිලියන 50ක ඖෂධ ගැන තොරතුරු මැකී යයි ද?

ඖෂධ මිලදී ගැනීම් ගැන තොරතුරු මකන්න කාට හරි අවශ්‍යද??

සෞඛ්‍යය වෘත්තිකයෝ ප්‍රශ්න කරති.

ඖෂධ මිල වහා පහත හෙළා රෝගීන්ට සහන සලසන්න.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ජනාධිපතිගෙන් ඉල්ලයි.

පසුගිය වර්ෂයෙන් මැයි මාසයේ දී පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ දී අනාවරණය වූ පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඒ වන විට භාවිතා කරති ඹෘෂධ සම්බන්ධ පරිගණක දත්ත පද්ධතිය අකාර්යක්ෂම භාවය නිසා ඉතා ඉක්මනින් එය භාවිතයෙන් ඉවත් කොට නව දත්ත පද්ධතියක් සකස් කරන බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළත් මේ දක්වා අඛණ්ඩව ම අකාර්යක්ෂම බව පැවසූ සෞඛ්‍ය දත්ත පද්ධතිය භාවිතා කිරීම ප්‍රශ්න සහගත බවත් කෝප් කමිටුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් කෝප් කමිටුව පවා නොමඟ යවමින් තමන්ට පෞද්ගලික වාසි ලබා ගැනීමේ අරමුණින් ඖෂධ දත්ත පද්ධතිය වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත ප්‍රකාශ නිකුත් කොට ඇත්දැයි සැකයක් මතුවන බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැහැදිලි කළේය.

මිලියන හැත්තෑවකට අධික මුදලක් වියදම් කරමින් සකස් කළ පරිගණක ඖෂධ තත්ත්ව පද්ධතිය වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මිලියන 700කට අධික මුදලක් වියදම් කරමින් නව පරිගණකගත ඖෂධ දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා තෝරා ගත් ජාත්‍යන්තර සමාගමකට බාර දෙනු ලැබූයේ මේ අතරතුරදීය.
අලුතින් සකස් කරන ලද එම පරිගණකගත ඖෂධ දත්ත පද්ධතිය මේ වන විට ඖෂධ සැපයුම් ඒකකය හා ස්ථාන ගණනාවකටම හඳුන්වා දීමට කටයුතු කර ඇතත් එම අලුතින් හඳුන්වා දෙනු ලැබූ දත්ත පද්ධතිය පෙර හඳුන්වා දුන් දත්ත පද්ධතිය තරම්වත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මේ වන විට ඖෂධ කළමනාකරණ ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට ලක්ව ඇති බව මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා පෙන්වා දෙනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ කළමනාකරණ සම්බන්ධ දත්ත පද්ධතිය වෙනස් කිරීමට පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙන් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර එම විමර්ශන වාර්තාවේ සඳහන් කරුණු වලට වඩා පරස්පර විරෝධී අන්දමට කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීම හරහා නව පරිගණකගත දත්ත පද්ධතියට අවසර ලබාගෙන ඇතත් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මගින් ලබාදුන් නිර්දේශ එම කැබිනට් පත්‍රිකාව තුළ සඳහන් නොකිරීම බරපතල ප්‍රශ්නයක් බව ද මෙහිදී මහතා පැවසීය.

එසේම මෙම පරිගණක ගත ඖෂධ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සහ අමාත්‍යවරයා මාධ්‍ය හමුවලදී එකිනෙකට පරස්පර විරෝධී කරුණු ප්‍රකාශ කරන බවත් දැනටමත් පැරණි ඖෂධ දත්ත පද්ධතිය භාවිත නොකරන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇතත් අලුතින් හඳුන්වා දී ඇති දත්ත පද්ධතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවන බැවින් මීට පෙර පැවති ඖෂධ දත්ත පද්ධතියට අඛණ්ඩවම අත්තිකාරම් මුදල් ගෙවමින් පවත්වාගෙන යාමට උත්සාහ කිරීම ගැන සොයා බැලිය යුතු බවත් පැවසීය.

නව පරිගණකගත දත්ත පද්ධතිය හදුන්වා දීම සඳහා මිලියන 700 ක ට අධික මුදලක් වැයවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇතත් එම නව පරිගණක දත්ත පද්ධතිය පෙර පැවති ඖෂධ දත්ත පද්ධතිය තරම් කාර්යක්ෂමතාවකින් ක්‍රියාත්මක නොවන බව භාවිතා කරන ඖෂධවේදීන් හා රෝහල් පද්ධතිය වෙතින් දැනගන්නට ලැබී ඇති බැවිනි ද එම දත්ත පද්ධතිය සඳහා ගෙවිය යුතු මිලියන 700කට අධික මුදල ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යම් සූදානමක් පවතින්නේ නම් වහාම එය නතර කොට නව පරිගණක දත්ත පද්ධතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේදැයි නිසි අධීක්ෂණයක් සිදු කළ යුතු බවද එසේ නොවන්නේනම් රුපියල් මිලියන 700කට අධික මුදලක් අවභාවිතාවේ මහජනතාවට බරපතළ පාඩුවක් විය හැකි බවද වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

රටක ඖෂධ සම්බන්ධ දත්ත පද්ධතිය ඉතා වැදගත් වන බවත් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඖෂධ සඳහා රුපියල් බිලියන 50කට අධික මුදලක් වියදම් වන බැවින් මේ අන්දමට නිසි පරිදි ඖෂධ නියාමනය සම්බන්ධ දත්ත පද්ධතියක් නොමැති වීම හරහා එම දත්ත අස්ථානගතවීම මකා දැමීමට හෝ වෙනස් කිරීමට නිලධාරීන්ට හැකියාවක් ඇති බැවින් බරපතළ තත්ත්වයක් නිර්මාණය කරන බවද අවධාරණය කළේය.

රටේ ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවකදී පැරණි ඖෂධ තත්ත්ව පද්ධතියේ අඩුපාඩු සකස් කොට එය ක්‍රියාත්මක කොට ක්‍රමානුකූලව වඩාත් කාර්‍යක්ෂම ඖෂධ සම්බන්ධ දත්ත පද්ධතියකට මාරු වීම වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ ලේකම්වරුන් හා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු අවශ්‍යතා මත මේ අන්දමට කඩිමුඩියේ නව දත්ත පද්ධතියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළයුතු බවද සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අවධාරණය කර යි. මක්නිසාද යත් පෙර පැවති ඖෂධ දත්ත පද්ධතිය සහ අලුතෙන් හඳුන්වා දෙන ඖෂධ තත්ත්ව පද්ධතියේ පවතින අඩුපාඩු බොහෝ දුරට එක සමාන වීමෙන් හරහා නව දත්ත පද්ධතියෙන් විශේෂ වාසි කිසිවක් හිමි නොවන බැවිනි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දිගින් දිගටම දූෂණ වංචාවල නිරත වෙද්දී ද එම ලේකම්වරුන් අධ්‍යක්ෂවරුන් හා නිලධාරීන්ගෙන් නාමලේඛන ඉතා පැහැදිලිව විගණන වාර්තා වල සඳහන් ව තිබියදීත් ඒවා සම්බන්ධයෙන් ඉතා අලස ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හරහා රටේ මහජනතාවගේ බදු මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ නිලධාරීන් විසින් දිගින් දිගටම අවභාවිතා කරමින් සිටින බවයි.

ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණ වල දී බරපතළ දූෂණ වංචා සිදු වන බවට තමන් විසින් අඛණ්ඩව පෙන්වාදේ දීත් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා හෝ බලධාරීන් අසමත් වීම සෞඛ්‍ය පද්ධතියේ දුර්වල දේශපාලන නායකත්වයේ අනුහසින් සිදුවන බවට තමන් සැක කරන බව ද රවි කුමුදේශ් මහතා අවධාරණය කළේය.

ඖෂධ නියාමන අධිකාරියේ ‍රියා පිළිවෙත ප්‍රශ්න සහගත බවත් තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම අඛණ්ඩව සිදුවන බවත් හදිසි තත්වයන් ට මුවා වී සිදුවන මෙම දූෂණ මැඬපැවැත්වීමට වහ කටයුතු කළ යුතු බවද ඒ මහතා පැවසීය.

දැනට රට තුළ තාවකාලිකව ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් යම් විසඳුමක් ලැබී ඇති මොහොතක දී ඖෂධ මිල පාලනයට වහාම පියවර ගත යුතු බවද මේ රටේ ජනතාව ඖෂධ මිල ඉහළ යාමේ බරපතල අර්බුදයකට ලක්ව ඇති බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවද සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට අවධාරණය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *