ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දක්වා පුද්ගලයෙකු පලා ගොස් තිබේ.
එසේ විරෝධය දක්වා පලා ගිය පුද්ගලයා සොයා ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට හෝමාගම මූලස්ථාන පොලිසිය පියවර ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයකු බව පොලිසිය පැවසුවේ.
මෙම පුද්ගලයා හෝමාගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ මොරගහහේන දෙසට සිය ලොරි රථයකින් යමින් සිටියදී පිටිපන හන්දියේ ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වෙමින් තිබී ඇත.
මේ අතර එය දුටු මෙම පුද්ගලයා ක්ෂණයකින් ක්‍රියාත්මක වී හූ හඬ නගමින් ඇමතිවරයා ඇතුළු පිරිසට විරෝධතාවය දක්වමින් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුව මේ බව දුටු පොලීසිය ලොරි රථය පිටුපස හඹා හූ හඩ තැබූ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු ආගමික උත්සවයකට බාධා කිරීම, ආගම ඇදහීමට ඇති අයිතියට අභියෝග කිරීම යන චෝදනා යටතේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.