වතුර පෙවෙන්නේ නැතිගානට වැඩිවෙන වතුර බිල

  • By editor
  • July 27, 2023
  • 0
  • 136 Views

ආණ්ඩුව විදුලි බිල දෙවතාවකදී විශාල ලෙස ඉහළ දැම්මේය. එසේ කළේ විදුලිබල මණ්ඩළයේ පාඩු පියවා ගැනිමට බව කියවුනි. එ‍යින් නොනැවතී ටක්කෙටම විදුලි විසන්දි කිරීමටද පියවර ගත්තේය. ඒ අනුව මින් පෙර මණ්ඩළය කිට්ටුවීම්ට පවා බියවූ පන්සල්වල පවා විසන්දි කිරීම සිදුවිය. වෙනකක් තබා විදුලි ඇමතිගේ අණින් ඔහුගේ අල්ලපු ගම වූ දික්වැල්ලෙ වැවුරුකන්නල විහාරයේ පවා ලයිට් කැපුනේය. විදුලි බිල වැඩි කිරිමෙන් විදුලි බල මණ්ඩළය යම්තරමකට ගොඩ එමින් සිටියදී ජල සම්පාදන මණ්ඩළයද තම අමාරුකම් කියන්නට වූයේය. ඒ කියවිල්ල අනුව හෙර අනිද්දා ජල බිල නංවන සැලැස්මක් ක්‍රියාත්මක වනා බව කොයි කාටත් පසක් වූයේය. දැන් එකී ජල බිලද ඉහළ නැංවීමට සියළු කරුණු කාරනා සපිරෙමින් තිබේ . එහි අළුත්ම තත්ත්වයනම් ජල බිලවැඩි කිරිමට අදාල කැබිනට් පත්‍රිකාව පවා මේ වන විට සූදානම්කර හමාරය.

ඝෝඨාභයගේ අසාර්ථක පාලනය විනාශ කර දැම්මේ රටේ ආර්ථිකය පමණක් නොවේ. එම් පාලනය ලාංකිකයන් හුරුව සිටි දිවි පැවැත්මද මුළුමනින්ම විකෘති කර දැම්මේය. තුන් වේලක් කෑ එකා දෙවේලක් කන තැනට පත්කර, සිගරට් බී එකා බීඩියක්වත් බොන්නට බැරි තැනට තල්ලුකර රටම රිවස් ගියරයට දැමූ ඝෝඨාගේ සිස්ටම් චේන්ජ් එකට අනුව ලංකාවේ බහුතරයකට කැමට බීමට, ලෙඩකට බෙහෙතක් ගැනීමට පවා මුදලක් ඉතිරි වෙන්නේ නැති තරම් ය. කෙටියෙන් කිවහොත් අද මිනිසුන්ට බිල් ගෙවනවාට වඩා දෙයක් කිරීමට නොහැක. ඒ තරමට මිනිසුන්ගේ ගෙවීම් ඉහළ ගොසිනි. බිල්ගෙවන්නම ජීවත්වෙන ලංකාවේ මිනිසුන්ට වතුර බිල ඉහළ දැමීම කෙසේ දැනේදැයි දැන්මම කීමට නොහැක. එහෙත් නිසැක වශයෙන්ම දැන් කබලේ සිටිනා ජනයා වැඩිකළ අළුත් ජල බිලත් සමග නිසැකවම ලිපට වැටෙනා බවනම් පැවසිය හැක්කේය.

වර්තමානයෙ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රටේ සමස්ත ජනගහනයෙන් 47% කට අසන්න ප්‍රමාණයකට පාණිය ජලය සපයයි. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය දෙකෝටි විසිලක්ෂයක් ලෙස සැලකුවහොත් මණ්ඩලයේ පරිභෝගිකයන් සංඛ්‍යාව දෙකෝටියකට ආසන්නය . තවත් ආකාරයකින් කියන්නේනම් රටේ ජනගහනයෙන් අඩක් බොන්නේ මණ්ඩළයේ වතුරය. එහෙත් මණ්ඩළය හැමදාමත් දිව්වේ පාඩුවටය. ජල ගාස්තු වැඩි කරන්නට මණ්ඩලය ඉදිරිපත්කර ඇති 16/2023 අංක දරණා කැබිනට් පත්‍රිකාව පවසනුයේ දැඩි සහන ගාස්තු ක්‍රමයක් පවත්වාගෙන යාම නිසා ජල සම්පාදන මණ්ඩළය වාර්ෂිකව රුපියල් බිලියන 8 ක පමණ පාඩුවක් ලබනා බවය. එමතුදු නොව 2022 වසර සදහා ගෙවිය බැංකු වෙත යුතු පොළීය සමග ප්‍රාග්ධන හිඟය රුපියල් බිලියන 12 ක් බව එම පත්‍රිකාව පවසයි.

මේ දැවන්තපාඩුව පියවා ගැනීම සඳහා මණ්ඩළය ගෙන එන විසඳුම් යෝජනාව වනුයේ එහි ආදයම වැඩිකරගනු වස් ජල බිල ඉහළ දැමීමය. එහිදී ඔවුන් ගෙනෙනා පලමු යෝජනාව වනුයේ ජල ඒකක 00 ත් 05 ත් අතර භාවිත කරන්නනගේ ජල ඒකකයක ගාස්තුව රුපියල් 60 ක් දක්වා ඉහළ දැමීමය. ඊට අදාල සේවා ගාස්තුව රුපියල් 400 කි. ජල ඒකක 6 ත් 10 ත් අතර භාවිතාකරන්නන්ගේ ඒකකයක ගාස්තුව රුපියක් 80 කි . ඔවුනගේද සේවා ගාස්තුව රුපියල් 400 කි. ඒකක 11 ත් 15 ත් අතර භාවිත කරන්නන්ගේ ගාස්තුව රුපියල් 100 කි. ඔවුනගේ සේවා ගාස්තුව රුපියල් 500කි. යෝජිත ජල ගාස්තු සංශෝදනයට අනුව ඒකක 26 ත් 30 අතර භාවිත කරන්නෙක් හට ඒකකයක් සඳහා වැයවෙන මුදල රුපියල් 160 කි. සේවා ගාස්තුව රුපියල් 1200 කි. ජල ඒකක 51 ත් 75 ත් අතර භාවිතාකරන්නන්ගේ ඒකකයක ගාස්තුව රුපියල් 240 කි . ඔවුනගේ සේවා ගාස්තුව රුපියල් 3500 කි. ඒකක 100 හා ඉන් ඔබ්බට භාවිත කරනා පාරිභෝගිකයන් ඒකකයට ගෙවිය යුතු මිල රුපියල් 300 කි. ඔවුනගේ සේවාගාස්තුව රුපියල් 4500 කි

මේ අනුව ජල බිල තරමටම සේවා ගාස්තුවද ඉහළ ගොස් ඇතිබව පැහැදිලිව දැක ගත හැක . ඒ අනුව ජල පාරිභෝගිකයෙක් ඒකක 26 ක් භාවිත කරයිනම් ඔහුට ආසන්න වශයෙන් ගෙවීමට සිදුවන ජල බිල රුපියල් 4580 කට ආසන්නය ඉන් 1200 සේවා ගාස්තු වන අතර, ජලය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 3,380 කි.

සමෘද්ධි සහ අඩු ආදායම් ලාභීන් සඳහා වන ජල ගාස්තු ඉහළදමා නැති අතර ඔවුනගේ පලමු ඒකක 5 සඳහා එකකයක මිල රුපියල් 5 කි. සේවාගාස්තුද රුපියල් 100 ක අවම අගයක පවත්වාගෙන යනු ලබයි. ඒකක 21 ත් 15 ත් අතර භාවිත කරන්නන්ගේ ඒකකයක ගාස්තුව රුපියල් 58 ක් වන අතර සේවා ගාස්තුව රුපියල් 100 කි. ඒකක 75 ඉක්මවන අවස්ථාවේදී ඒකකයක ගාස්තුව රුපියල් 140 ක්වන අතර සේවා ගාස්තුව රුපියල් 1200 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *