ශ්‍රී.ල.නි.පය පාවාදී මෛත්‍රී – ලංසා හරහා රනිල්ට ලංවෙයි.

  • By editor
  • January 28, 2024
  • 0
  • 79 Views

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දෙබිඩි ක්‍රියා පිළිවෙත මේ වනවිට පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඇතුළු ඉහළ පෙළේ සාමාජිකයන් අතර දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්වෙමින් පවතියි.

මීට සති දෙකකට පෙර, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එහි  සමස්ත ලංකා කාරක සභාව අමතමින් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් අමතා පුන පුනා  ප්‍රකාශ කළේ රාජපක්ෂවරුන් යනු දූෂිතයන් බවත් ,දූෂිත රාජපක්ෂලා සමග හෝ ඔවුන් සමග එකට ආණ්ඩු කරන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සමග හෝ  සන්ධානගත වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් සූදානම් නොමැති බවත්ය. 

පක්ෂයේ සභාපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග එදින රැස්ව සිටි ආසන සංවිධායකවරුන් සහ අනෙකුත් සාමාජිකයන් එම ප්‍රකාශය අනුමත කළ අතර, 

දූෂිතයන්ගෙන් තොර,පිරිසිදු දේශපාලන කණ්ඩායමක් සමග සන්ධානගතවී ඉදිරි මැතිවරණවලට මුහුණ දීම ගැන බලාපොරොත්තුවක්ද ඔවුන් තුළ ඇති විය.

එහෙත් ඊට  දින කිහිපයකට පසු ශ්‍රී ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරි මැතිවරණ ඉලක්ක කර වමේ බලවේග සමග සන්ධානගතවීම සඳහා සාකච්ඡා ආරම්භ කළේ එම බලාපොරොත්තු වලට නව පණක් ගෙන එමිනි. මේ අතර, සමගි ජන බලවේගය සමග සාකච්ඡා කොට සන්ධානගතවීමට ඇති හැකියාව ගැනද පක්ෂය අභ්‍යන්තරයේ අදහස් පළවිය.

කෙසේවුවද, පසුගිය ජනවාරි 22 වැනි දින සිදුවූ රහස් හමුවක් නිසා, මෛත්‍රීපාල සිරිසේන යනු ඝෘජු මතයක පිහිටා කටයුතු කරන නායකයෙකු නොවන බව පක්ෂයේ සාමාජිකයන්ට නැවත වරක් තහවුරුව ඇත.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ වත්මන් ආණ්ඩුවේ ඇමතිධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු හමුවීමට පැමිණියේ රනිල් වික්‍රමසිංහ නැවත වරක් බලයට ගෙන ඒම සඳහා දරදිය අදින “ලංසා ” පිලේ ඉදිරි පෙළ මන්ත්‍රීවරු කිහිපදෙනෙකි. නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු සහ ජගත් පුෂ්පකුමාර එදින සාකච්ඡාවට එක්වූ එම පිරිසට අයත් විය. පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට අමතරව නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න,මහින්ද අමරවීර සහ දුෂ්මන්ත මිත්‍රපාලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වයෙන් මෙම සාකච්ඡාවට එක්වූහ. මෙම සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවති බවද වාර්තා වෙයි.

උග්‍ර රනිල්වාදීන් බවට පත්ව සිටින “ලංසා පිල” ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජය තවුරු කිරීම උදෙසා අසීමිත ප්‍රයත්නයක යෙදෙන බව රටම දන්නා කාරණයකි. රාජපක්ෂලා හෝ රනිල් වික්‍රමසිංහ සමග කිසිදු අයුරකින් එක් නොවන බව සති දෙකකට පමණ පෙර දිවුරා ප්‍රකාශ කළ පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මෙලෙස නැවතත් රනිල් වික්‍රමසිංහ සමග හොර රහසේ දීගයකට මුලපුරා තිබීම ගැන ආණ්ඩු විරෝධී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ඇතුළු සැබෑ ශ්‍රී ලංකා කාරයෝ දැඩි කනස්සල්ලටත් , කළකිරීමටත් පත්ව සිටිති. මෙවැනි වාතාවරණයක් මත,මෛත්‍රීපාල සිරිසේනගේ මෙම දෙබිඩි පිළිවෙත පිළිබද දැඩි විරෝධයක් ළගදීම පක්ෂ අභ්‍යන්තරයෙන්ම මතුවන බවටද ලකුණු පහළවී තිබේ . එවැනි දෙයක් සිදුවුවහොත් ශ්‍රී ලනිපය තව දුරටත් බෙදී යා හැකිබව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *