සෙබළුන්ට කන්න නැති උනත් හමුදා ලොක්කෝ ලක්ෂ එකොළහක කාලා – වසර දෙකට සෙබළුන් 30,000 හමුදාව හැර යයි – රුපියල් කෝටියක විදුලි උපකරණ ගබඩා වල – සේවයන්ගේ ඊ.ටී.එෆ් ගෙවා නෑ. 

  • By editor
  • December 10, 2023
  • 0
  • 98 Views

පොලීසිය මෙන්ම ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදවන් ආරම්භයට මුල්වනුයේ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ය. සිලෝන් ආමි ලෙස ආරම්භවී පසුව ශ්‍රි ලංකා යුධ හමුදාව බවට පත්වුනද ශ්‍රී ලංකාවේ යුධහමුදාව වෘතියමය හමුදාවක් බවට නිසිලෙස පත්වනුයේ උතුරු නැගෙනහිර ඊළාම් යුද්ධයට මුහුණදීමට සිදුවීමත් සමගය. දීර්ඝ කාලීන සංග්‍රාමයකට දායක වීම හේතුවෙන් අත්දැකීම් බහුල හමුදා ඒකකයක් බවට පත් ශ්‍රි ලංකා යුධ හමුදාව අදවනවිට එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල පවා කැපී පෙනෙනා භූමිකාවක ඉටුකරනා සේනාංකයක් බවට පත්ව තිබේ. 

එම තත්ත්වයට  ශ්‍රී ලංකා හමුදාව පත්වීමේදී එහි සිදුවු වෙනස්කම් අතර නිළධාරින් සහ සෙබළුන් වෙනුවෙන් එක්වූ අංග බොහෝය. අද අප කතා කරනා ”ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය” ඒ ආකාරයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වූ අංගයකි. 2005 අංක 8 දරණ රාජ්‍ය ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය පණත මගින් පිහිටවාලූ එම විද්‍යාලය පිළිබඳ මෙතුවක් කල් අවධානය යොමුවූයේ ආරක්සක සේවාවන්හී නියැළුන පිරිස් පමණි. එහෙත් මේ මෑතක සිට සමාජයේ බොහෝ පාර්ශවයන් කථා කරනා මාතෘකාවක් බවට රාජ්‍ය ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය පත්ව තිබේ. ඊට ප්‍රධාන හේතුව බවට පත්ව අත්තේ 2022 වසරට අදාලව ජාතික විඝණන කාර්යාලය විසින් නිකුත්කළ විඝණන වාර්තාවකි. එකී වාර්තාව මගින් අනාවරණය කර ඇති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අරුම පුදුම සංග්‍රහ වියදමක් නිසා මේ ආකාරයෙ අවධානයක් එම විදුහලට පමනක් නොව සමස්ත යුධ හමුදාව වෙතම යොමුව ඇත්තේය. 

එකී විඝණන වාර්තාවට අනුව ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි හමුදා ප්‍රධානීන් පිරිසකට සංග්‍රහ වියදම් ලෙස වියදම් කර ඇති මුදල රුපියල් එකොළොස් ලක්ෂ පනස් දාහකි. මිලියනයකට එහාගිය සංග්‍රහ වියදමක් දරා ඇත්තේ එම විද්‍යාලයේ කටයුතු නිරීක්ෂණයට පැමිණි ඉහළ නිළධාරීන් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙනි. මෙලෙස පැමිණි පිරිස ලෙස දැක්වෙනුයේ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති, නාවික හමුදාපති සහ නාවික හමුදාපති යන පස් දෙනාය. පස් දෙනෙකු ගේ සංග්‍රහ වියදම එකොළොස් ලක්ෂ පනස්දාහක් වීම වූ කලී මොනයම් ආකාරයකටවත් සාධාරණීය කරණය කළ හැකි වියදමක් නොවේ. විශේෂයෙන් බංකොළොත්වූ  ආර්ථිකයක් සහිත රටක විනයවත් හමුදාවකින් මේ ආකාරයේ හැසිරීමක් කිසිම පුර වැසියෙක් බලාපොරොත්තු නොවේ.

ආරක්ෂක සේවාවේ මුල් පුටු කිහිපයක් වෙනුවෙන් මේසා වියදමක් දරන්නට යුධ හමුදාව ඉදිරිපත්වනුයේ වියදම් සීමාකිරීම ගැන භාණ්ඩාගාරය නිකුත් කර ඇති චක්‍රලේඛය පවා නොතමකිනි. සමස්ත රාජ්‍ය සේවාවේ වියදම සීමාකරනු වස් හාෆ්ෂීට් කොළයේ සිට වියදම් කපන්නට භාණ්ඩාගාරය චක්‍රලේඛයක් මගින් නියෝග පනවා තිබියදී ඒ බව නොතකා මෙතරම් දැවැන්ත සංග්‍රහ වියදමක් දැරීමට රටටම යහමත් ආදර්ශ සපයන්නට කැපවී සිටිනා  යුධ හමුදාව පෙළබීම කණසල්ලට කාරණයකි. 

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ශ්‍රී ලංකාවේ හමුදා නිළධාරීන්ට පමනක් නොව  විදේශ රටවල ද මිත්‍ර හමුදාවන්හි හමුදා නිලධාරීන් වෙනුවෙන්ද පාඨලාමා පවත්වයි. එකී පාඨමාලා මගින් සංග්‍රාමික උපායශීලීත්වය සහ සන්නද්ධ සේවාවන්ගේ උසස් ප්‍රමිතිය ඉහළ නැංවීමට මහා මෙහෙයක් ඉටුකරනා බව සියළු දෙනාම පිළිගන්නා කරුනකි. එබැවින් එහි අධ්‍යන වියදම් සඳහා දරන්නා වූ පිරිවැය ප්‍රශ්ණ කරන්නට කිසිවෙක් පෙළබෙන්නෙ නැත. මොනතරම් අසීරු අවස්ථාවක වුවද එකී පිරිවැය දැරීම ප්‍රතික්ෂේප කරන්නට කිසිවෙක් සිතන්නෙ නැත. 

වෙනත් පොදු රාජ්‍ය මණ්ඩළීය රටවලද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල මෙවැනි පාඨමාලා පවත්වන අතර ඒවාටද ඒ ඒ රටවල ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් විසින් ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්ති පිළිබඳව දේශන පැවැත්වීම සිදුකෙරේ. සැබැවින්ම එය සාමාන්‍ය තත්ත්වයකි. එම සම්ප්‍රදායට අනුකූලව ශ්‍රී ලංකාවද කටයුතු කළ යුතු බව අපද පිළිගන්නෙමු.  මෙම උසස් නිලධාරීන්ගේ දේශන පවත්වනු ලබන අතර, රාජකාරී ස්වභාවය හේතුවෙන් සහ එකම අවස්ථාවක එම දේශන වාරයන් පැවැත්වීමේ ඇති ප්‍රයෝගික ගැටළු නිසාවෙන් අවස්ථා 5ක් යටතේ එම දේශන පැවැත්වීමට කටයුතු කෙරුන බව මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එයද අප පිළිගැනීමට සූදානම් නමිත් දින පහක සංග්‍රක වියදම රුපියල් 1,1444,658 ක් විම නොහොත් දින පහක සංග්‍රහයක් සඳහා එතරම් විශාල මුදලක් වෙන් කිරීම වූ කලී සුළුකොට තැකිය හැකි දෙයක් නොවේ.

එහෙත් මේ සිදුවීම ප්‍රශ්ණ සහගත වන්නේ පසු ගිය7 වෙනිදා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) රැස්වූ අවස්ථාවේදී අනවරණය වූ ඛේදණීය කාරණවක් සමග සැසඳීමේදීය. COPF කමිටුව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රධනීත්වයෙන් රැස්වූ අවස්තාවේ අනාවරණය වූයේ ආරක්ෂක හමුදා මේ වනවිට සෙබළුන්ට දෛනික් ආහාර සැපයීමට නොහැකි තරමේ අර්බුදයකට පත් වී ඇති බවයි. ඊට හේතුව ලෙස එම කාරක සභාව හමුවර පැමිණි ආරක්ෂක හමුදාවන් නියෝජනය කරනා උසස් නිලධාරීන් දන්වා සිටියේ හමුදාවට ආහාර සැපයු සැපයුම්කරුවනට ගෙවිය යුතු විශාල මුදලක් ගෙවානැති බැවින් සෙබළුන්ට ආහාර සැපයීම ප්‍රශ්ණ සහගත තත්ත්වයකට පත්ව ඇති බවය.

සාමාන්‍ය පිළිගැනීමට අනුව එක් ආරක්ෂක අංශ සාමාජිකයෙකුට දිනකට කැලරි 3400 ක ආහාර වේලක් ලබා දියයුතුමුත් පවතින ආරථික අපහසුතවයන් හමුවේ එවැනි ආහාර වේලක් සෙබළුන් වෙනුවෙන් සැපයීමට නොහැකිව ඇති බව එම නිළධාරින් රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ හමුවේ පවසා ඇත. ආහාර අර්බුදය සහ හමුදාවේ පවතින වෙනත් ප්‍රශ්ණ නිසා  2021 වසරේ සිට 30,000ක් පමණ ත්‍රිවිධ හමුදාව හැර ගොස් ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. හමුදාවට ආහාර සපයන්නන්ගේ හිඟ ගෙවීම් පියවීම සඳහා යොදා ගැනීමට නියමිත රුපියල් බිලියන 16.5 ක පරිපූරක ඇස්තමේන්තුවක් හමුදා නිළධාරීන් විසින් රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට ඉදිරිපත් කළ අතර, මුදල් දැඩි වගකීමෙන් භාවිත කිරිමේ අවශ්‍යතාවය කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා විසින් අවධාරණය කරනා ලදි. රට වෙනුවෙන් අසීරු යුද්ධයකට ජීවිතය කැපකළ සෙබළුන්ගේ බත් පත පවා අවධානමට ලක්ව ඇති අවස්ථාවක, හමුදා ලොක්කන් පස්දෙනෙක් ලක්ෂ එකොළහමාරක සංග්‍රහවියදමක් භුක්ති විඳීම සාධාරණය කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්ණය මතුවේ. 

කෙසේ වෙතත් මේ පිළිබඳ නිවේදනයක නිකුත්කරනා ආරක්ෂක අමාත්‍යංශය පවසනුයේ මෙම සංග්‍රහ වියදම දරනු ලබුවේ ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සංග්‍රහ කටයුතු සඳහා පමණක් නොවන බවයි. එම අවස්ථාවන්හිදී දේශනවලින් අනතුරුව පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන්, උපදේශක නිලධාරීන් සහ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද ඇතුළුව 200 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ අදහස් හුවමාරුකර ගනිමින් තම දැනුම පුළුල්කර ගැනීම සඳහා අවස්ථාව සලසාලමින් ඔවුන් සමඟ එක්ව සාමුහික තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම පිළිගත් හමුදා සම්ප්‍රදාය බවත්, මෙම වියදම ඒ සඳහා වැයවූ බවත් එම නිවේදනය කියා සිටී. 

එහෙත් ජාතික විඝණන කාර්යාලයේ වාර්තාවට අනුව ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ඇති එකම අර්බුදය මෙකි දැවැන්ත සංග්‍රහ වියදම පමණක් නොවේ. එහි තවත් අර්බුද රැසකි. එහි රුපියල් කෝටි 13 ක් වැය කොට ඉදිකරනාලද ගොඩනැගිල්ලක් සම්බන්ධවද ගැටළු කිහිපයක්ද විඝණන වාර්තාව මගින් ප්‍රශ්ණ කර ඇත. මහල් හතරකින් යුත් එම ගොඩනැගිල්ල පුස්තකාලයක් සහ විභාග ශාලාවම් ලෙස යොදාගන්න අතර එහි ඉහළ මාලයේ පවතින ජල කාන්දුව 2019 වසරේ සිට 2022 වසර ( විඝණන වාර්තාව සකසන අවස්ථාව ) වන තෙක් නිවැරදි කර ගැනීමට පියවර ගෙන නැත. එම ජල කාන්දුව නිසා ඉහළමාලයේ විදුලි පද්ධතිය සහ බිත්ති වලට විශාල හානියක් සිදුව ඇත. 

මේ තරම් දැවැන්ත හානියක් සිදුවන්නේ යුධ හමුදාව සතු විශිෂ්ට හැකියාවන්ගෙන් යුත් ඉන්ජිනේරු රෙජිමේන්තුවක් තිබියදී බව අප අමතක කළයුතු නොවේ. පසුගිය කාලයේ දේශපාලන ලොක්කන්ගේ අවශ්‍යතා අනුව හමුදා සහ මහජන අවශ්‍යතා නොවනා ඉදිකිරීම් රැසකට හමුදා සෙබළුන් දායක වූ බව රහසක් නොවේ. ආණ්ඩුවට හිතවත් වොයිස්කට් නිකායේ හිමිවරුන් වැඩ සිටිනා පන්සල්වල වෙහෙර විහාර, ධර්මශාලා හදන්නට සිමෙන්ති ඇනුවේත් වැලි හැලුවේත් යුධ සෙබළුන්ය. වෙනකක් තබා රෝහල් උපස්ථායිකාවක සිට කොහෙන්දෝ ලද වරයකින් සාත්තර කියන්නට ගත් ඥාණක්කාගේ දේවාලය හදන්නටද යුධ සෙබළුන් යොදවාගත් බව ප්‍රකට කරුණකි . එවැනි ශ්‍රම බලකායක් සිටිනා හමුදාව සතු රුපියල් කෝටි 13 ක් වටිනා ගොඩනැගිල්ලක ජල කාන්දුව වසර තුනක් තිස්සේ හදාගන්නට නොහැකි වීම කියාපාන්නේ පරිපාලනයේ අඩුපාඩු මිස අන් කිසිවක් නොවේ. ඊට අමතරව යුධ හමුදාව යනු සියළු සම්පත් සහිත ආයතනයකි. එකි සම්පත් නිසි විලස කළමනාකරණය ගත්තෙනම් එකොළොස් ලක්ෂ පනස්දාහක සංග්‍රහ වියදම බරපතල ලෙස අඩු කරගන්නට හැකියව තිබුනි. 

ඊට අමතර්ව ශිෂ්‍ය නේවාසිකගාරයේ අවශ්‍යතා නිසි ලෙස සැළකිල්ලට නොගත් නිසා සැළකිවයුතු මුදල් නාස්තියක් සිදුව ඇතිබව එම වාර්තාව පෙන්වාදෙයි . ඒ අනුව රුපියල් කෝටි ගණනක වටිනා කමකින් යුත් රෙදි සෝදන යන්ත්‍ර තුනක්, ශීතකරණ තුනක් ඇතුළුව භාණ්ඩ වර්ග නමයක් (විදුලි උපකරණ) කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගබඩා කර ඇතිබව එම වාර්තාවේ සඳහන් වෙයි. එමතුදු නොව 2022 අගෝස්තු මස 31 වැනිදින දක්වා එහි සේවයේ නියුතු සිවිල් කාර්යමණ්ඩළය සඳහා සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදලේ දායකත්ව මුදල්ද ගෙවා නැතිබව ජාතික විඝණන වාර්තාව පෙන්වා දෙයි . 

රටේ පොදු පිළිගැනීම වනුයේ විනය සහ පිළිවෙල අතින් ඉදිරියෙන්ම සිටිනුයේ ආරක්ෂක හමුදාවන් බවය. පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු හමුදා නිළධාරියෙක් වන ඝෝඨාභය රාකපක්ෂට හැටනම ලක්ෂයක් දෙනා ඡන්දය දෙන්නේ එකී විශ්වාසය මත පිහිටාය. එහෙත් ඒ විශ්වාසය දෑ වසරක් තුළ බිඳවැටුන බව රහසක් නොවේ .  ඒ ආකාරයෙන්ම ජාතික විඝණන වාර්තාව පෙන්වාදෙන්නේද යුධ හමුදාවේ විනය, පිළිවෙල සහ කාර්යක්ෂම බව තව දුරටත් වර්ධනය කරගත යුතු බවය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *