සෞඛ්‍ය අමාත්‍යංශයේ නොසැලකිල්ලෙන් ඩොලර් මිලියන ගණනක ඖෂධ විනාශ වෙයි.

  • By editor
  • February 16, 2024
  • 0
  • 90 Views

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය මගින් ඖෂධ තොග නිසි වේලාවට භාර නොගැනීම නිසා එම ඖෂධ තොග ඇතුළත් බහාළුම් ගබඩා පර්යන්ත තුළ දැඩි උෂ්ණත්වයට නිරාවරණය වෙමින් පවතින බව වාර්තා වෙයි. ඒ ආකාරයෙන් අධික උෂ්ණත්වයට නිරාවරණය වීම නිසා එකී ඖෂධවල ගුණාත්මක බව බරපතල ලෙස විනාශවීමේ අවධානමක් මතුව අති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වාදෙයි.

එ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනකරු ලෙස ක්‍රියාකරමින් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ඉකුත් සැප්තැම්බරයේ මෙරටට ගෙන්වූ ඖෂධ තොග ඇතුළත් බහාලුම් රැසක් අනාරක්ෂිත ලෙස වැලිසර, කැලණිය සහ වත්තල රේගු පර්යන්තවල ගබඩා කර ඇති බවට සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙයි . 

ඔවුන් පවසන පරිදි එම ඖෂධ මෙලෙස මාස 04කට වැඩි කලක් අනාරක්ෂිත ලෙස තබා ඇත්තේ ඒවා ගබඩා කළ යුතු නිසි උෂ්ණත්වය පිළිබඳ ද කිසිදු තැකීමකින් තොරවය.

එම එක් බහාලුමක් තුළ අමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වටිනා ඖෂධ අඩංගු බව ඕවුහු වැඩි දුරටත් පෙන්වා දෙති . 

මේ අතර ප්‍රශ්නගතවූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නතට අදාළව හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකරන සමයේ රටතුළ සැබැවින්ම ඖෂධ හිඟයක් පැවතියේද යන්න පිළිබඳ විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකුගෙන් පසුගියදා ප්‍රකාශයක් ලබාගෙන තිබේ . එවැනි ඖෂධ හිඟයක් පැවති බවට එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබාදී ඇති ප්‍රකාශයකට අනුව එම ප්‍රකාශය ලබාගෙන ඇත. 

මීට අමතරව දැනට රට තුළ භාවිත කෙරෙන Meropenem නැමැති ප්‍රතිජීවකයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පසුගිය දා අනාවරණය කළේය. ඔහු පවසන්නේ එම ප්‍රතිජීවක අඩංගු කුප්පි තුළ වීදුරු කැබලි හමුවී ඇති බවය.

එම Meropenem නමැති ප්‍රතිජීවකය ඇති බහාලුම් පිළිබඳ පවසමින් ඔහු හෙළිකළේ එම ප්‍රතිජීවකය සැපයූ සැපයුම්කරු මින් පෙර ගෙන්වූ ඖෂධ තොගය තත්ත්වයෙන් අසමත්වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *