හමුදාපතිවෙන්නට සිටි සංජය වනසිංහගේ බෙල්ලටම කෙටේරි පාරක්.

  • By editor
  • October 10, 2023
  • 0
  • 897 Views

තිස් වසරක් පුරා එල්.ටි.ටි.ඊ.යට එරෙහි යුද්ධ කරන අතරේ හැමදාමත් යුද හමුදාවේ තවත් මහා යුද්ධයක් තිබුණේය.තනතුරු වෙනුවෙන් ඒ සටන තිබුණේ ජෙනරාල්ලා අතරය. යුද හමුදාවේ පළමු තැනේ සුදුදුකම් නැති ජෙනරාල්වරයෙක් සිටින කල දෙවැනියා සමග ඇතිවන්නේ මල්ටි බැරැල්, රොකට් ,කාලතුවක්කු පත්තු කිරීමෙන් නොනැවතී මරාගෙන මැරෙන සටනකි
.ඊට හේතුව පළමු වැනියා දෙවැනියාට බිය වීමය.

ජගත් ජයසූරිය යුද හමුදාපතිව සිටි කාලේ සිය දෙවැනියා වු දයා රත්නායකට හමුදා මාධ්‍ය අංශයෙන් කිසිදු ප්‍රසිද්ධියක් නොදීම ඊට හොඳම උදාහරණයය.ඒදවස් වල දෙදෙනා උත්සවවල සිටින පින්තුර මාධ්‍යයට යවන ලද්දේ දායා රත්නායක කපාය.ඒත් සරත් ෆොන්සේකා ,ශවින්දා සිල්වලාගේ කාලේ ඔවුන් සිය දෙවැනියන් ගැන කලබල නොවුහ. පළමු වැනියාට අහියෝග කිරීමට තමන් පොඩිවැඩි බව දෙවැනියෝද දැනගෙන සිටියහ.ඒත් ශවීන්ද සිල්වාගේ දෙවැනියාව සිටි විකුම් ලියනගේ ඩි.බී.විජේතුංග පන්නයෙන් එනම් පිනා චාන්ස් එකකින් හමුදාපති වු පසු ජෙනරාල්ලා අතර යුද්ධය යළි ඇවිළුණේය.. ජෙනරාල්ලාගේ යුද්ධයේදී බලන්නේ ඉන් හමුදාවට වන පාඩුවට වඩා තමන්ගේ ප්‍රතිවාදියාගේ බෙල්ල කැපීමය.


යුද හමුදාවේ අවාසනාවකට මෙන් මෙවර බෙල්ල කැපී ඇත්තේ යුද හමුදාවේ මහත්මයකු ලෙස කීර්තියට පත් යුද හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය වනසිංහගේය. ඔහුගේ බෙල්ල කැපුවේ කෙටේරි පහරකින් බව ඇහෙන කතාවය. කෙටේරිය වු කලී ගජබා රෙජිමේන්තුවේ සලකුණය. යුද හමුදාවේ මුල් පුටුව පමණක් නොව ආරක්ෂක ලේකම් පුටුව ද හිමිව ගජබා රෙජිමේන්තුවේ දෙදෙනෙකුටය. ඒත් යුද හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය වනසිංහ කාලතුවක්කු රෙජිමේන්තුවේ නිලධාරියකි.


වයස අවුරුදු පනස් පහ පිරීම නිසා ඔහු මේ මස දහතුන් වැනිදා විශ්‍රාම ලැබීමට නියමිතය. ඊට පෙර ඔහු යුද හමුදාපති ධුරයට පත්කරනු ඇති බව හමුදාවේ ජේ‍්‍යෂ්ඨ මෙන්ම කනිටු නිලධාරීහු දහස් ගණනක් බලාපොරොත්තු තබා සිටියහ ඊට හේතුව යුද හමුදාව පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය ය. නිලධාරීන් සෙසු නිලයන් කියා වෙනසක් නැතිව දිනපතාම හමුදාවෙන්වෙන් පලා යන පිරිස වැඩිය. සෙබළුන්ට කන්න නැතිව තිබියදී යුද හමුදාපති ජැක් ඩැනියල්,බැලැක් ලේබල් ස්කෝෂ් විස්කි පාටි දමා බමන මතින් හමුදාපති පුටුවේ ගෞරවය වනසයි. හමුදාවේ විනය පිරහි ඇති බවට හොඳම සාක්ෂිය රට පුරා වෙඩි තැබ්ම් වලට සම්බන්ධ සැකකරැවන් රැසක් හමුදා සෙබළු වීමය. ඒ අතරේ පෙර නොවු විරූ ලෙස මත්ද්‍රව්‍ය ගන්නා සෙබළු අත්අඩංගුවට පත්වෙති.


මේ ප්‍රශ්න වලට විසඳුම විනය ගරුක හමුදාපතියරයෙක් පත්කර ගැනීම බව ජේ‍්‍යෂ්ඨ නිලධාරීහු කල්පනා කළහ.ඒ වර්තමාන යුද හමුදාපති කැළැල් අයකු බැවිනි. යටත් පිරිසෙන් නිකැළැල් සේවයට හිමි පදක්කම් දෙකම ඔහුට නැත .උත්තම සේවා (usp)හා විශිෂ්ට සේවා විභුෂණ (vsv) එම පදක්කම් දෙකකය .මැත කාලේ එම පදක්කම් නැතිව සුද හමුදාපති පුටුවට පත් වු එකම නිලධාරියා වුවේ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේය.එම පදක්කම් නොලැබුණේ ඔහුගේ රාජකාරි දිවියේ කැළැල් ඇති නිසාය. හමුදා නිතීය අනුව ඔහු” ඇබ්සන්ට්” නිලධාරියකි. ඒත් ඔහු ආරක්ෂක ලේකම්ගේ නිර්දේශ මත යුද හමුදාපති ධුරයට පත්විය.


විකුම් ලියනගේ ද ශාන්ත කෝට්ටේගොඩ පන්නයේ හමුදාපතිවරයක් බව රහසක් නොවේ. .කෝට්ටේගොඩගේ අසාර්ථකත්වය දුටු ජනපති මහින්ද රාජපක්ෂ කළේ ඔහු වේලපහින් ගෙදර යවා සරත් ෆොන්සේකා යුද හමුදාපති කිරීමය.


එම පූර්වාදර්ශය යුද හමුදාව බේරා ගැනීමට මෙවරත් අනුගමනය කරනු ඇති බව ජනපති කාර්යාලය පැත්තෙන් මුලින් ඇසුණු කතාවය.ඒත් ආරක්ෂක අමාත්‍යාංශය කළේ කොළය වහා සංජය වනසිංහ ඇතුළු මේජර් ජෙනරාල්වරැන් තිදෙනෙකුගේ ෆයිල් විශ්‍රාම ගැන්වීම සඳහා ජනපතිවරයාට යොමු කිරීමය.එහිදී යෝජනාවක් ආවේ සංජය වනසිංහට මාස හයක සේවා දිගුවක් දීමටය. එනමුත් හමුදාපතිට හැර දෙවැනියාට සේවා දිගු නොදෙන බව කියමින් කොළේ වැහුවේ කෙටේරි කූමන්ත්‍රණයකින් බව පැවසෙයි. එනමුත් ජනපතිවරුන් මින් පෙර හමුදා මාණ්ඩලික ප්‍රධානින් හතර පස් දෙනෙකුටම මාස හයක සේවා දිගු දුන් ඉතිහාසයක්ද තිබේ.එසේ සේවාදිගු ලැබු මේජර් ජෙනරාල්වරැ අතර නීල් ඩයස්,ලයනල් බලගල්ල,දයා රත්නායක,සත්‍යප්‍රිය ලියනගේ , ශවින්දා සිල්යා,ජී.ඒ.චන්ඳුසිරි, දම්පත් ප්‍රනාන්දු සිටිති.


සංජය වනසිංහ මෙන් දේශපාලනය පලිගැනීමට ලක් වු මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු රාජපක්ෂලාගේ අණින් 2010දී හමුදාවෙන් නෙරපා දැමුණි.ඔහු නැවත සේවයේ පිහිටවනු ලැබුවේ මෛත්‍රීපාල ,රනිල් රජයෙනි යුද.හමුදා මාණ්ඩලික ප්‍රධානි නිලයෙන් ඔහු විශ්‍රාම ගියේ 2018 10.03.වැනිදාය.ඔහු වෙනුවෙන් හමුදා උත්තමාචාර පෙළපාලියක්ද පැවැත්වු පසු ඔහු නිල ඇදුම් ගලවා ගෙදර ගියේය. ඒ අතරේ ජනපති ඔහුට යළිදු වරක් තෙමසක සේවා දිගුවක් දුන්නේය.
ඒත් මේ පූර්වාදර්ශය මහත්මයකු වු සංජය වනසිංහ වෙනුවෙන් ක්‍රියාත්මක නොවීය. ඔහුටද දැන් සිද්ධ වෙමින් පවතින්නේ මේජර් ජෙනරාල් ජානක පෙරේරට වු සන්තෑසියමය.එදා ජානක පෙරේරා හමුදාපති කළේ නම් සරත් ෆොන්සේකාට කරන්නට යුද්ධය ඉතිරි වන්නේ නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනිය ජානකට හමුදාපති පුටුව නොදුන්නේ ඔහු යුඇන්පිකාරයෙක් බව කියමිනි.එදා ජානක පෙරේරා වාඩිවී සිටි පුටුවේ සිටින සංජය වනසිංහටත් පරහට සිට ඇත්තේ ඔහුගේ පරපුරේ දේශපාලන සබඳතාය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඔහුගේ මස්සිනාය.


රනිල් 77දී බියගම මන්ත්‍රී වනවිට බියගමට අල්ලපු ආසනය වන දොම්පේන් පත් වු මන්ත්‍රී සරත්චන්ඳ්‍ර රාජකරුණා හර්ෂණගේ තාත්තාය. ඔහු එදා දොම්පේන් පරාජය කළේ මැතිනියගේ ආණ්ඩුවේ සිටි මහ බලසම්පන්නම ඇමැති වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක ය.සරත්චන්ඳ්‍ර ගේ නංගී කුමාරි බාලසුරියය. හිටපු ආණ්ඩුකාරියක වන ඇගේ සැමියා හිටපු ඇමැති ආචාර්ය ජගත් බාලසූරියය. ඒ දෙපළගේ පුතා පොහොටිටුවෙි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී තාරක බාලසූරිය රනිල්ගේ ආණ්ඩුවේ විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිය. ඉතිං මේ සියල්ලන් සංජය වනසිංහගේ නැයන් වුවේ ඔහුගේ වරදකින් නොවේ.රනිල් සමග සිටි හර්ෂණ රාජකරුණා සජිත් ප්‍රේමදාස ළඟට ගියේද සංජයගේ මැදිහත්විමකින් නොවේ


.සජිත් ඉස්කෝල වලට බෙදන බස්වලට සල්ලි ලැබෙන්නේ එංගලන්තයේ සිටින ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්ත හා හර්ෂණ ගේ ඉන්දීය සබඳතාවකින් බව පැවසෙන කතාවකි.ඉන්දියාවෙන් සැලකුම් ලැබෙන “නුතන ගාමිණී දිසානායක “හර්ෂණ බව බුද්ධි වාර්තාවක් ප්‍රබලයකු අතට පත්වී ඇති බව සඳහන්ය.ඔක්කොම කුණු බේරේට යනුවෙන් කියන්නා සේ සනුහරේ මේ නෑකම් නිසා දැන් පරිප්පු කන්නට සිද්ධ වී ඇත්තේ සංජය වනසිංහටය.
අලි මදිවට කොටි කියන්නා සේ දේශාපාලන කැපිලි මදිවට සංජය වනසිංහට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නගෙන් ද වසර ගණනාවක සිට කැපිල්ලකි .


කිර්තිමත් යුද හමුදාපතිවරයකු වූ ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ පුතා වන සංජය වනසිංහ සමග ගෝඨාභය රාජපක්ෂවාදී ජෙනරාල්ලාට යුද බිමේදීත් ඇරියස් එකක් තිබුණු බව හමුදාවේ රහසක් නොවේ.. ගෝඨාභයවාදින් සංජය වනසිංහ සැලකුවේ යුඇන්පිකාරයන් ලෙසය. ඊට හේතු වුයේ සංජයගේ තාත්තා රනිල් වික්‍රමසිංහ ඇමැතිකම් දැරු එජය ආණ්ඩුවක් යටතේ යුද හමුදාපති ධුරයට පත් වී රෝහණ විජේවීරත් මරා ජාවීපෙ භිෂණ සමය අවසන් කිරීමට යුද හමුදාවට අණ දීමය එමතු නොව ඔහු රනිල් අගමැතිකම කළ .යුඇන්පී ආණ්ඩුවක ආරක්ෂක ලේකම්කම කිරීමය. කමල් ගුණරත්න මෙන් ඔහු පර්ලිමෙන්තුවේ දී මන්ත්‍රීන්ට ගහන්න අභියෝග කරමින් තර්ජන කළ ආරක්ෂක ලේකම්වරයකු නොවේ .කිර්තිමත් ආරක්ෂක ලේකම්වරයක් වු ඔහු හමුදා සෙබළුන් යොදාගෙන මාලිගාවක් හැදු අයකුද නෙවේ. නිස්කලංකේ ඔහු කළුකොඳයාවේ නිවසට වී සැදැ සමය ගතකරන්නේය. ඔහු තම පවුලේ හතරදෙනෙකු හමුදාවට පූජා කළේය. ඉන් තුන් දෙනෙක් රණ බිමේදී දිවි පිදූහ. ඉතිරි වුවේ සංජය පමණි. අලිමංකඩ සටනේදි දිවි පිදූ කර්නල් භාතිය ජයතිලක හැමිල්ටන් වනසිංහගේ බෑනාය. එනම් දුවගේ සැමියාය එසේ රට වෙනුවෙන් දිවිකැප කළ වනසිංහ පරපුරට කෙනෙහිළිකම් වුයේ අද ඊයේ පමණක් නොවේ.. පසුකලක සංජයගේ අම්මා මිය යන විට ආරක්ෂක ලේකම් වුවේ ගෝඨාභය රාජපක්ෂය. ඔහුගේ සුවච කීකරු ජෙනරාල්වරයකු ලෙස එදවස කමල් ගුණරත්නලා හමුදාවේ සිටියහ. එදවස හිටපු හමුදාපති ජෙනරාල් වනසිංහගේ බිරිය මිය ගිය විට ගෝඨාභයගේ අණින් මළගමට හමුදාවේ ශෝකය ප්‍රකාශ කරමින් බැනරයක් ගැසීමට පවා තහනම් කර තිබුණේය. එපමණක් නොව අසාධ්‍ය තත්ත්වයේ සිටි ඇ හමුදා රෝහලට ගෙනා මොහොතේ ඇ රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතිික්ෂෙප කර තිබුණි .


සිවු වැනි ඊළාම් යුද්ධය පැවැති කාලයේ ලුතිනන් කර්නල්වරවකු සංජය වනසිංහට වීර වික්‍රම විභූෂණ (WWV) පදක්කමක් නිර්දේශ වී තිබුණේය.එම පදක්කම දෙන්නේ යුද බිමේදි තම දිවිය ගැන නොසිතා තම සගයන්ගේ ජීවිතය බේරා ගැනීමට සවේච්ඡාවෙන් ඉදාිරිපත් වන වීරයන්ටය. කාලතුවක්කු හමුදාවේ වුවාට සංජය වනසිංහ විශිෂ්ට ස්නයිපර් වෙඩික්කරැවෙකි.සිවු වැනි ඊළාම් යුද්ධය සඳහා ස්නයිපර් තුවක්කුකරැවන් නිෂ්පාදනය වුවේ ඔහුගේ නායකත්වයෙනි.එමතු නොව යුද හමුදාවට ස්නයිපර් තුවක්කුකරැවන් බිහිකිරීමගේ ආදී කර්තෘවරයා සංජයගේ තාත්තා ජෙනරාල් වනසිංහය .
එවැනි පසුබිමක් තිබියදි යුඑන් පි ලේබලය නිසා ගෝඨාභයගේ ගෝලයෝ සංජයට හිමි wwv පදක්කම නිර්දේශ නොකළහ.තමාට පදක්කම අහිමි කළේ අහවලා බව සංජය බය නැතිව ප්‍රසිද්ධියේ කීවේය..ඒත් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් wwvපදක්කම පපුවේ ගහ ගත්තේය.ඒ එම පදක්කම හිමි වීමට අවශ්‍ය සුදුසුකම් නැතිවය.හමදා පිලිවෙත් අනුව wwvපදක්කමට අවශ්‍ය සුසුසුකම් සැපිරීමට සේනාංකාධිපතිවරයකුට අවස්ථාව ලැබෙන්නේ නැත. මක් නිසාද යත් ඔවුන් අවි ගෙන සතුරා සමග මුහුණට මුහුණ සටන් කරන්නේ නැති නිසාය.සේනාංකාධිපති සිටින්නේ යුද පෙරමුණ පිටුපසය. ඔහු අණ දෙන්නේ කටින් කෑගසා නොව පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙනි. ජෙනරාල් රොහාන් දළුවත්තත් ඔය විදියට හොරට රණ වික්‍රම පදක්කම තමාටම නිර්දේශ කරගත්තේ සටනට නොගොස්ය.
එනමුත් 58වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවීන්ද සිල්වා wwv පදක්කම දිනා ගත්තේ සතුරා සමග මුහුණට මුහුණලා සටන් කළ ලුතිනන් නිලයේදීය. එදවස ඔවුහු සතුරා සමග මුහුණට මුහුණ සටන් කළ තරුණ නිලධාරිහුය. චාගී ගල්ලගේ,රැල්ෆ් නුගේරා වැනි විශිෂ්ට සේනාංකාධිපතිවරුද එම පදක්කම දිනා ගත්තේ තරුණ අවදියේදිය.


ගෝඨාභය කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් කළේ ජනපතිවරණ සමයේ වියත් මගින් තමාට කළ සේවය සලසාය.. මැයි නවවැනිදා ප්‍රහාරයෙන් පසු ඔහු ලේකම් ධුරයෙන් ඉවත් කර ජෙනරාල් දයා රත්නායක ආරක්ෂක ලේකම් කිරීමට ජනපතිවරයාට තීරණය කළද අවසානයේදි එය වෙනස් විය. අන්තිමේදී කමල් ගුණරත්න යටතේ තිබු ත්‍රිවිධ හමුදාව රාජකාරි හරියට නොකළ නිසා ගෝඨාභය ට ජනපති පුටුවද අහිමි විය.රනිල් වික්‍රමසිංහ ජනපති ධුරයට පත් වු විට කමල් ගුණරත්න බත්තරමුල්ල හමුදා පරිශ්‍රයේදී කීවේ තමා නගුට වනන්නේ එක ස්වාමියකුට(ගෝඨාභය ) බැවින් රනිල් යටතේ සේවය කිරීමට අකමැති බවය. ඒකතාව ඇසු ජේ‍්‍යෂ්ඨ නිලධාරිහු ඔහුගේ විශ්‍රාම දිවියට සුබ පතමින් අතට අත දුන්හ.ඒ වෙලාවේ තනතුරෙන් අයින් වීමට ඔහුට තිබු ලොකුම ප්‍රශ්නය වුවේ තමා හදන මාලිගාවට ගෙනා ටයිල් කැට බෞද්ධාලෝක මාවතේ නිල නිවසේ ගොඩගසා තිබීම බව පැවසේ .මේ මාලිගාවේ වහල ගසන්නට ගිය සෙබළෙක් ඇද වැටී මිය ගියේය. ඔහු එහි සේවයට යොදවා තිබුණේ නීති විරෝධිවය. මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තුවේදී කිවේ කමල් ගුණරත්නගේ බල්ලෝ නිදහස් චතුරශයේ ඇවිද්දන්නෙත් හමුදා සෙබළු බවය.අද ඊයේක සිට නොව 2006 මිරැසුවීල් 55 සේනාංකාධිපති ,හා වෙල්ලිමුල්ලිවයිකාල් 53 වැනි සේනාංකාධිපතිව සිටි කාලෙත් ඔහු කොල්ලන් ලවා බල්ලන් හැදුවේය. බල්ලන්ට කතා කළේ “පුතා’ යනුවෙන් බව සෙබළු කියති. බල්ලන්නට මස් හමුදාවෙනි .රැට බල්ලො අතහැරි විට බල්ලෝ නොහඳුන කොල්ලෝ ඒ දවස්වල එලියට නොබැස්සේ හපාකතැයි බයෙනි.කමල් ගුණරත්නලාගේ මේ ඉතිහාසය ජනපති රනිල් වික්‍රමසිංහ දන්නවාදැයි කීමට අප දන්නේ නැත. ඒත් කමල් ගුණරත්නගේ බල්ලෝ පමණක් නොව ඔහුත් වහාම බැඳ දැමිය යුතුබව තමාට කළ තර්ජනය ගැන චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් පැහැදිලි වේ.
ඒ කතා කෙසේවෙතත් යුද හමුදාපති පුටුව නොලැබුණා කියා සංජය වනසිංහට පෞද්ගලිකව වන පාඩුවක් නම් නැත. ඔහු යුද හමුදාවෙන් වැටුප්.ඇතුළු කිසිදු වරප්‍රසාදයක් නොගන්වා බව හමුදාවම දන්නාද කතාවකි. ඒ පරම්පරාවෙන්ම වනසිංහලා ඇතිහැකිඅය වන නිසාය. .දැනට පේන හැටියට වර්තමාන යුද හමුදාපතිට තවත් හය මසක සේවා දිගුවක් ලැබෙනු ඇත. එනිසා ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියන පරදි රාජ්‍ය මැදිහත්වීමෙන් යුද හමුදාව දෙකෙන් පංගුවකට අඩු කිරීමට අවශ්‍ය නැත. මේ හමුදාපති තව දුරටත් සිටිනවා යැයි කියන්නේ ඉන්න සෙබළු ටිකත් හමුදාවෙන් හැකි ඉක්මනින් පළා යනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *