හිටපු ඇමතිට අයත් කියන කෝටි 80 බදු වංචාවට හසු වූ මත්පැන් සමාගම වෙනත් නමකින් එළියට

  • By editor
  • November 6, 2023
  • 0
  • 413 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බවට සැලකෙන කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වයඹ ඩිස්ට්ලරිස් මත්පැන් සමාගම කෝටි 80 ක බදු වංචාවක් කර ඇති බව කෝපා කමිටුවට හෙළි වී තිබියදී නැවත එම හිමිකරු විසින්ම වෙනත් නමකින් එම ස්ථානයේම මත්පැන් සමාගමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු වාර්තා කළ අතර ඔහු වැඩිදුරටත් සදහන් කළේ පසුගිය කෝපා කමිටුවකදී එම ආයතනය වසා දමා ඇති බව වාර්තා වූ නමුත් නැවත එම ස්ථානයේම එම අයිතිකරුවන් විසින් ම රෝයල් සිලෝන් නමින් අළුතින් මත්පැන් සමාගමක් ආරම්භ කර ඇති බව දැනගන්නට ලැබුණු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය

මම කෝපා කමිටුව නියෝජනය කරන අතර පසුගිය කෝපා කමිටුවට සුරාබදු දෙපාර්තමේන්තුව කැදෙව්වා. අනෙක් කමිටු වලටත් සුරාබදු දෙපාර්තමේන්තුව කැඳවා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන්නේ කෝටි 21700 ක ආදායමක් මෙම වසරේ. නමුත් එම ඉලක්කය ට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. මෙම මත්ද්‍රව්‍ය ආයතන 5 විශාල බදු ප්‍රමාණයක් රජයට ගෙවලා නැහැ.

එයින් කුරුණෑගල ප්‍රදේශයේ තියෙන වයඹ ඩිස්ට්ලරිස් සමාගම පමණක් කෝටි 80 ක් බදු වංචා කළ බව දැන ගන්නට ලැබුණා. නමුත් එම සමාගම වෙනත් නමකින් විවෘත කර වෙනත් ආයතනයක් ලෙස ලියාපදිංචි කර ව්‍යාපාරික කටයුතු කරගෙන යන බව දැනගන්නට තියෙනවා. 

එම ආයතනයේ නිෂ්පාදනය නවත්වලා නිෂ්පාදනය කළ දේවල් අළෙවි කිරීම තහනම් කළ බව ප්‍රකාශ කළත් මෙම සමාගම සුපුරුදු පරිදි ව්‍යාපාරය කර ගෙන යනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඊළඟ පාර්ලිමේන්තු සැසියේදී කෝපා කමිටුවට සුරාබදු දෙපාර්තමේන්තුව කැඳවා මේ පිළිබදව ප්‍රශ්න කරන්න. මින් පෙර පැවති කෝපා කමිටුවකදී මෙම සමාගම වසා ඇති බව ප්‍රකාශ උනත් නැවත ආරමිභ කරන බව කියවුණේ නැහැ. 

වයඹ ඩිස්ට්ලරිස් සමාගම අයිතිකරුවන් මද රෝයල් සිලෝන් සමාගම කරන්නේ එසේ නම් ඔවුන් බදු පැහැර හැර තිබියදී එහෙම කරන්නේ කොහොම ද කියන එක පැහැදිළි කර ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්න තීරණය කර තියෙනවා. 

කුරුණෑගල ප්‍රදේශයේ සියලු දෙනා දන්නා හදුනන ප්‍රසිද්ධ දේශපාලනඥයකු ට අයිති වයඹ ඩිස්ට්ලරිස් සමාගම රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීම සදහා අලුතින් රෝයල් සිලෝන් සමාගම නමින් පවත්වාගෙන යන්නේ එම දේශපාලනඥයා විසින් ම බවට තොරතුරු අනාවරණය වන බවද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *