හිටපු ඇමති කෙහෙළියට නොමග යැව්වා වගේම ඇමති රමේෂ් පතිරණත් නොමග යවනවා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

  • By editor
  • February 19, 2024
  • 0
  • 88 Views

දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය දත්ත පද්ධතියට අනුව ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් පවතින නමුත් එම තත්ත්වය වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසුරිය මහතා ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම සම්බන්ධ නිල දත්ත පද්ධතිය ස්ථාපිත කළ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සභාපති විශේෂඥ චමල් සංජීව මහතා සඳහන් කළේය.

ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළකළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වර්තමාන දත්ත පද්ධතිය ආසියානු සංවර්ධන බැංකුවේ මිලියන හැත්තෑවකට අධික ණය ආයෝජනයක් ලෙස ආරම්භ කොට ඇති අතර එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද ප්‍රශ්න සහගත බවත් එහිදී ද ව්‍යලීට පෙන්වා දුන් බවද ඔහු සිහිපත් කළේය.

මීට පෙර පැවැති දත්ත පද්ධතියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක තොරතුරු ඒකකය ලබා දෙන ලද නිර්දේශ වසන් කරමින් කැබිනට් මණ්ඩලයට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සහගත කැබිනට් පත්‍රිකාවක් හරහා නව දත්ත පද්ධති ස්ථාපිත කිරීමට අතිරේක ලේකම් වෛද්‍ය – සැපයුම්- සමන් රත්නායක මහතාඇතුළු කණ්ඩායම ක්‍රියා කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසුරිය මහතා විසින්ම එම දත්ත පද්ධතියේ සඳහන් තොරතුරු අසත්‍ය බවට හැඟවෙන ප්‍රකාශ, ප්‍රකාශ කිරීම අගය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය දත්ත පද්ධතිය අසමත් සහ අකාර්යක්ෂම බව සනාථ වන්නේ නම් දැන් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පුළුල් විමර්ශනයක් සිදුකොට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලා සිටියේය.

මෙම දත්ත පද්ධතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 700කට ආසන්න මුදලක් වෙන් කොට ඇති අතර ඉන් කොටසක් දැනටමත් ගෙවා ඇති බවත් මෙම දත්ත පද්ධතිය ආරම්භයේ සිටම එහි ක්‍රියාකාරීත්වය ගැන තමන් ප්‍රශ්න කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එම තත්ත්වය මගහැර සිටි බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන සැපයුම් ජාලය බිඳ වැටීම සම්බන්ධයෙන් වර්තමාන අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන සහ වැඩ බලන නියෝජ්‍යාධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසුරිය යන මහත්වරුන් වගකිව යුතු බවත් ඒ සම්බන්ධ ප්‍රසිද්ධ විවාදයකට සහභාගි වීමට ඔවුන්ට අභියෝග කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලී රඹුක්වැල්ල මහතාට වැරදි තොරතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විනාශ කිරීමට කටයුතු කළ නිලධාරීන්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රමෙෂ් පතිරණ මහතා නොමඟ යවමින් සිටින බව පෙනී යාම කණගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක , හිටපු විධායක අධ්‍යක්‍ෂ විජිත් ගුණසේකර ඇතුළු ඉමියුනොගොලොබියුන් වංචාවට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සම්බන්ධව නීති අංශවල දැඩි අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *