ෆොනී -දයා නයි මුගටි වෛරයේ සුලමුල 

  • By editor
  • February 7, 2024
  • 0
  • 231 Views

යුද හමුදාව හා කොටි ත්‍රස්තවාදීන් අතර පැවැති යුද්ධය රටවැසියෝ සියැසින් දුටුවද යුදහමුදාවේ ජෙනරාල්ලාගේ යුද්ධය නොදුටුවහ. ඊට හේතුව උතුරුනැගෙනහිර යුද්ධය ඇස් පනාපිට වුවද ජෙනරාල්ලාගේ යුද්ධය පැවැතියේ තිරය පිටුපසින් වීමය. ඒ දවස ලොකුම යුද්ධය තිබුණේ ජෙනරාල් සරත් ෆොන්සේකා හා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අතරය. ඒ මහා යුද්ධය අතරේ චූල යුද්ධද නොතිබූණා නොවේ. ඒවා දැනගෙන සිටියේ ඇතුළේ අය පමණි .

ඊළාම් යුද්ධය අවසන් වුවද මේ සා කලක් අළුයට තිබූ එවැනි යුද්ධයක් නිසා දැන් සමගි ජන බලවේගයේ සමගිය ඉරිතලා යන්නට පටන්ගෙන තිබේ . ඊට හේතුව විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සජිත් ප්‍රෙමදාාසට එක් වීමය . දැඩි රාජපක්ෂවාදියකුව සිටි දයා රත්නායකගේ මෙි පිමිම අදහාගත නොහැකි වැඩකි.

දයා රත්නායක රාජපක්ෂවාදියකු වුවේ සරත් ෆොන්සේකා සමග ඇති වු ගැටුමෙන් පසුවය. කුරුණැගල මලියදේව විදුහලේ ආදී සිසුවෙකු වන ඔහු නිලධාරී බඳවා ගැනීමේ පාඨමාලා අංක දහතුන යටතේ 1981.07.18 යුද හමුදාවට එක් විය. ඔහුගේ නිලධාරී අංකය වුයේ o /50913 ය. ඔහු ශිු ලංකා පාබළ හමුදාවට අයත් නිලධාරියකු විය . ඔහු රටේ ජනප්‍රිය චරිතයක් බවට මුලින්ම පත් වුයේ හමුදා ප්‍රකාශක ධුරයට පත් වීම හේතුවෙනි . ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති ධුරයට පත්වීමෙන් පසු ඔහු වැලිකන්ද 23 සේනාංකාධිපති ලෙස පත් කෙරුණි. 

මේ අතර කොටි ත්‍රස්තවාදීන් මාවිල් ආරුව වසා හතරවැනි ඊළාම් යුද්ධය ඇරැඹිය මාරාගෙන මැරෙන ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා සිටි සරත් ෆොන්සේකා ලෙඩ ඇදේ සිට මාවිල් ආරු සටන මෙහෙයැවීය. එදවස යුද හමුදාවේ දෙවැනියා වුයේ දයා රත්නායක අයත් පාබළ රෙජිමේන්තුවේ අධිපතිව සිටි මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චිය. ඔහු කන්තලේ සීනි කම්හල් පරිශ්‍රයේ නවාතැන් ගෙන හමුදාපතිගේ නියෝග ක්‍රියාත්මක කළේය.

පසුව මාවිල් ආරු සටන ගැන පාබළ හමුදා සඟරාවේ ලියැවුණේ මාවිල් ආරු සටනට අණ දුන්නේ නන්ද මල්ලආරච්චි බවය. ඉන් සරත් ෆොන්සේකා කිපුණේය. එය නිවැරැදි කරන ලෙස දයා රත්නායකට කීවද ඔහු සිය රෙජිමේන්තු අධිපති වු මල්ලආරච්චිගෙන් නොවිමසා එය කළ නොහැකි බව කීය. මල්ලඅරාච්චි වු කලී එ දවස ආරක්ෂක ලේකම් වු ගෝඨාභය රාජපක්ෂ ගේ බැචාය. දෙන්නාම හමුදාවට බැඳුණේ එකටය

රාජපක්ෂ හයිය අතට ගත් රත්නායකට වැරැදුණේය. තොප්පිගල හා වාකරේ සටන තිබුණේ රත්නායකගේ අඩවියේ වුවද යුද හමුදාපතිවරයා ඔහු ග්‍රාවුන්ඩ් බෝයි කර විශිෂ්ට සටන්කරුවෙකු සේම මහත්මයකු වු කොමාන්ඩෝ බළසේනාධිපති කර්නල් චාගී ගාල්ලගේ ලවා තොප්පිගල අල්ලා ගත්තේය. ඉක්බිතිව දයා රත්නායක ප්‍රධාන ධාරාවේ වර්ග කිරීමෙන් ඉවත් කර පොදු ධාරාවට දමා උතුරේ ඉදිරිපෙළ නඩත්තු ආඥපති ධුරයට හෙවත් ග්‍රවුන්ඩ් බෝයි ලෙස පත් කෙරුණි .

රත්නායකට යළි හිස එසවීමට හැකි වුයේ ජනපතිවරණයෙන් පැරැදුණු ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඒ වෙලාවේ ගෝඨාභය ෆොන්සේකා ගේ පසමිතුරෝ කරළියට කැදවාගත්හ. තමා තම්පනේ සටනේදී අසාර්ථක වීම නිසා 57 සේනාංකාධිපති ධුරයෙන් නෙරපා හැර මේජර් ජෙනරාල් ජගත් ඩයස් පත් කරනු ලැබිම නිසා ෆොන්සේකා සමග විරසක වු මේජර් ජෙනරාල් සුමිත් මානවඩුට ෆොන්සේකා අල්ලන්නට දුන්නේය. ඔහු ඒ වෙලේ ෆොන්සේකා ගේ හිසට පයින් ගැසීය. දෛවය මානවඩුට පසුව දඩුවම දුන්නේය. ඔහු මිය ගියේ අහක යන පරාලයක් හිසේ වැදීය. 

හිරේ දැමූ ෆොන්සේකාට එරෙහිව පැවැති යුද්ධාධිකරණයේදී ෆොන්සේකාට විරුද්ධ සාක්ෂි සම්පිණ්ඩනය කරන්නට බාර දුන්නේ මේජර් ජෙනරාල් දයා රත්නායකටය. ඒ යුද්ධාධිකරණ ක්‍රමවේදයට පටහැනිව බව ෆොන්සේකා චෝදනා කළේය. එදා යුද හමුදාපති ලෙස ලද බලයෙන් රත්නායක ඉවත් කිරීමෙි වාඩුව ඔහු ඇතිතරම් යුද්ධාධිකරණයේදී ගත් බව ෆොන්සේකා ඉකුත් 31 පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය. 

ෆොන්සේකා හිරේ දැමු පසු ඊළග යුද හමුදාපති ධුරයට ගෝඨාභය තෝරා ගත්තේ දයා රත්නායකය. තමා දඩයම් කිරීම ඒ සඳහා ඔහුට තිබුණු සුදුසුකම වු බව ෆොන්සේකා කීවේය. ඔහූ 2013.8.01.සිට.2015.02.21.දක්වා හමුදාපති ධුරය දැරීය.පොතේ හැටියට ඔහු 2013.02.21.දා විශ්‍රාම යායුතු මුත් ගෝඨාභය සිය සුවච කීකරු දයා ට දිගටම දයාව දැක්විය දයා රත්නායක ගැන කුමන විවේචන තිබුණද ඔහු එක හොඳක් කළේය. ඒ දෙදහස් පහළොවේ තීරණාත්මක ජනපතිවරණය පැවැති රාත්‍රියේ යුද හමුදාව කළමනාකරණය කර ගැනීමය එසේ කරන්නට ඇත්තේ කීර්තිමත් පොලිස්පති එන් .කේ.ඉලංගකෝන් හා තානාපති අංශයේ බලපෑම් නිසා වෙන්නැතිය.

නව ජනපති යටතේ ඔහුගේ තනතුරට ආයුෂ නොවීය. ගෙදර ගිය ඔහු යළි මතුවුණේ ගෝඨාභයගේ ජනපතිවරණ සටනේදීය. ගෝඨා ළඟින්ම සිටියේ ජෙනරාල් දයා රත්නායක , මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා හා මේජර් ජෙනරාල් කමල් ගුණරත්නය. ගෝඨාභය ජනපති වු පසු තුන්දෙනාටම මදි නොකියන්න සැලකුවේය. දයා වරාය සභාපති විය. ඉන්පසුව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විය. ගෝඨාභය මුලින්ම එලියට දැම්මේ කෘෂිකර්ම ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරාය. ඒ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සනසන්නටය. ඒ ගැන සුමේධ පෙරේරා සිය සමීපයන්ට පවසා තිබුණේ තමා ඉවත් කිරීමට ජනපතිට බලය තිබුණද ,මෙතරම් සමීපයෙන් සිටි තමා ඉවත් කිරීමට පෙර ඒ ගැන තමාට කීමට ගෝඨාභයට යුතුකමක් තිබිය යුතු බවය. රනිල් ව්ක්‍රමසිංහ ජනපති ධුරයට පත් වීමෙන් පසු දයා රත්නායකගේ වසන්ත සමය නිමා විය. ලේකම් පදවිය අහිමි විය.

දැන් ඔහු යළිදු වරක් කරළියට පැමිණ ඇත්තේ සමගි ජන බළවේගයේ උපදේශක පත්වීමක් ගෙනය. ඒ ගැන පක්ෂයේ සභාපති ෆොන්සේකා කීවේ තමා සිටින තැනකට ඒමට දයා රත්නායකට ලෑජ්ජාවක් නැති බවත්. ⁣ඔහු සිය පක්ෂයට එක් වී ඇති බව තමා දැන ගත්තේ සමාජ මාධ්‍යයෙන් බවත්ය.

ෆොන්සේකාගේ මේ කතාවෙන් එළියට එන්නේ සමගි ජන බලවේගයේ නායකත්ව අර්බුදයය. එහි නායක සජිත් ප්‍රේමදාසට පක්ෂයේ ඇති අභියෝගය සරත් ෆොන්සේකා බව රහසක් නොවේ. සජිත් සිය පක්ෂයේ රණවරු වැඩ බාර දුන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාටය . ෆොන්සේකා යුද හමුදාපතිව සිටි කාලයේ ඔහුද පැත්තකට දැමුවේ ඔහුට එල්ල වු විනය විරෝධී චෝදනා නිසාය. එසේ බලන විට ෆොන්සේකා ඉවත් කළ හමුදාවේ හිටපු දෙදෙනෙකු සජිත්ගේ ආශිර්වාදය හිමි වි පක්ෂයට පැමිණ තිබේ. සජිත් එසේ කරන්නේ තමාට නොගැලපෙන අය සමග නොසිටින බව කියන ෆොන්සේකාට පළ නොකියා පළා බෙදන්නටද.

මේ අතරේ අනුර කුමාර දිසානායක කීවේ සමගි ජන බලවේගය රණ විරු සංගමයක් හදා තම පක්ෂය කොපි කරන්න හැදුවට සම කරන්නට බැරි බවය. සමගි ජන බලවේගයේ රණවිරු සංවිධානය බාර දී ඇත්තේ හාල් හොරකම් කිරිම නිසා තමා එලවා දැමු අයෙකු බව ෆොන්සේකා තමා සමග කී බව අනුර කුමාර කීවේ එම පක්ෂයේ රණවිරු රැස්වීමකදීය. ජාතික ජන බලවේගයේ රණවිරු සංසදය බාර සිටින්නේ ෆොන්සේකා හමුදාපති ධුරය දැරු අවසාන සමයේ යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ වු මේජර් ජෙනරාල් අරුණ ජයසේකරය. සහරාන්ගේ කල්ලිය සයින්දමරැදුවලදි මරා දමන විට එම ප්‍රදේශය බාර එනම් නැගෙනහිර ආඥපති වුවේ ඔහුය. ෆොන්සේකාගේ විස්වාසය දිනා ගත් මේජර් ජෙනරාල් ජයසේකර මේ මොහොතේදී කපුවෙකු වෙයිද . එවැනි දෙයක් අරුණ ජයසේකර කරයිදැයි අවනිශ්චිතය මක් නිසාද යත් තරු පහේ ෆිල්ඩ් මර්ෂල්වරයකු ආවොත් තරු දෙකේ ජෙනරාල්වරයකුට සිදු වනු ඇත්තේ ඉර එළිය ඉදිරියේ සඳුට වන දෙයමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *